Thursday, October 19, 2017

විප්ලවය



යළි කිසිදාක විප්ලවය
මා තුළ නූපදිනු ඇත
මැඩ්‍රිඩ් මරකේෂ් ලිස්බන්
තවත් මට නගර විතරය
කේස් ලෝ ඕඩර්ස් සබ්මිෂන්
හුදෙක් ලිපි ගොනු විතරය

දෙපා ඇද ඇද රුහිරු බිඳු ලූ
'ලූ' ඔබ තවත් චරිතයකි
පාවෙල්, පවුලූෂා, ලෙනින්
යන්තමට ඇසුණු නම් පමණි
තා-ඕ-චිං රළු ගමන දුෂ්කරය දුක්ඛිතය
විප්ලවය සිදු වූ තැන පවා යළි යළිත් ලෙය පිරී
ධනවාදයට හැරුණි

අලස බව විසින් මැඩ දුහුවිලි පිරී තැන තැන
"ස්ටාෆ් නෑ.. පඩි නෑ" එකම කවිය උන් ගයාවි
ගඟක් කතරට හරවන්න දැරූ තැත දැන් නිමයි
විප්ලවය මළ තැනින් කවි සියක් විසිවේවි, එපමණයි

Shasika Amali Munasinghe
Picture - Laura Lee Zanghetti, American

ඒ සොඳුරු මිනිසාත් ගැහැනියත්



ඒ සොඳුරු මිනිසාත් ගැහැනියත්
නිලැති කඳු පාමුල
නිදනවා ඇති නිහඬව
දුර්භීක්ෂයකදී දන් දෙන්න පිරුණු අත්
කෙත් බිම් සොයා ඇවිද ගිය පයත්
ගිමන් නිවනවා ඇති..

වලාකුළු එක දෙක දරන
ඈත අකාසයේ ළතැවෙන
වැස්ස ගැන වෙන කතා බහ නැති
මල් දරන රුක් සියක් ඔසවා
නිලට නිල කඳු ගයනවා ඇති
සියක් අටු පල දරනවා ඇති

වේදනා පිටාර ගිය මාවත්
සුගීතයෙන් නහවා
තවත් කප් කලක් යන තුරු
අස්වනු පිදෙනවා ඇති
ඒ සොඳුරු මිනිසාත් ගැහැනියත්
නිදහසේ නිදනවා ඇති

Shasika Amali Munasinghe
Picture - Dale Laitinen, American

Wednesday, October 18, 2017

ලොව සියලු දරුවනට හොඳම දේ හිමි නේද?


අධිකරණයෙහි හිඳ සිටින මවුවරුන් අත දරන කිරිකැටියන් වෙනුවෙනි;

මගේ ඇස මට ඔබෙන් ඉවත් කළ නොහැකිය
පුතුනි ඔබ සතුද ඇස ඇද බඳින අයස්කාන්තයක්
ලෙළවමින් කුඩා අත් පා මුව හොවන කල මවු උර මත
එ'මවු හද මත දැවෙන ගිනි පලිඟුවක උණුසුමක් වෙද ඔබට

"දුකින් තටු ගසා ලෙය සිඳේවිද
පුතේ කිරිවේල මඟ හැරේවිද
හැඬුම් එන විට නවත ගත යුතු නොවෙද
ලොව සියලු දරුවනට හොඳම දේ හිමි නේද"

රස්නයෙන් විඩා ලන කිරි කැටි සිනා වියළ යන
කතරක අතරමං වන කරුණ කිසි රජුන් නොවිමසන
කළ කම් අනුව පල දරන කියා කිව්වත් දහම
කිරි කැටි සිනාවක මුදු අතක අත්ලක කඳුළක් තබා හිනැහිය හැකිද

ලොව සියලු දරුවනට හොඳම දේ හිමි නේද?

Shasika Amali Munasinghe
Picture - Steve Hanks Painting