Wednesday, April 30, 2014

මැයි රැළිය



මැයි රැළිය ඇරඹෙයි මගේ නිවස ඉදිරියෙන්
ජවයෙන් පිරි මිනිස් හඬ ඇසේ ගේට්ටුව එපිටින්
වාහන දෙදරුම දැනේ මා ළයට
ඔබ එනව නම් මැයි රැළියට
බලනු මැන තාප්පයෙන් එබෙන පයින් ගස දෙස
කවියක් එල්ලා තබමි එහි මුදුන් අත්තක
ඔබට කියවනු පිණිස
අනවරත කපුටු ගී අතරතුර

'ජයවේවා කම්කරු පන්තියට!'
'දවාලය වන තුරු
නිදන මත් වූ දැරියට!'

Picture - Daniel F. Gerhartz

කඳුළක් කියන්නෙත් මීවිතක්



මාර ගතියක් දැනෙනවා
උගුරට එන විට අතීතය
දවා කම්පිත කර
හැඩරුවක කඳුළ

කඳුළක් කියන්නෙත්
මීවිතක් සොඳුර

Picture - Maria Zeldis

මී බිඳු



මී බිඳු පුරවා නෙක හැඩින් හැඩ කළ
බීර හා වයින් බෝතල් එක් කරයි එක් අයෙක්
මත් වනු පිණිස විටින් විට
නැත විවිධ හැඩ ගන්වනු පිණිස මතුපිට
බිඳෙන් බිඳ ඉන් උරා බොයි තව අයෙක්

Picture - Carrie Graber

Tuesday, April 29, 2014

අලුත් නැවතුම්පළකට යනු පිණිස



දුම්රිය
මම නැවතී සිටිමි
අලුත් නැවතුම්පළකට යනු පිණිස

සීතය සෘතුව
දරනු අපහසුය
බිඳක්වත් සිත
නිවා ගනු බැරිය
නොපතමි නොවෙහෙසමි
වෙනස් කෙරුමට එය
ගෙන යනු මැනවි මා
අලුත් නැවතුම්පළකට

Picture - Faruk Koksal

Monday, April 28, 2014

පොකුණ - ගඟ - සමුදුර



රැළි රැළි ගවුම
ඔසවා රඟන්නේ පොකුණ
විසි කර ගඟ වෙත
අපමණ හාදු සමුදුර

ගඟ මහත් දුකින
සමුදුර මඟ හැරුණු බැවින

Picture - Willem Haenraets, Dutch, born 1940

වලා සුම්බර



හුන්නස්ගිර කඳු හිස
බැඳි වලා සුම්බර
වීසි කර පහළට
සිනාසෙයි සුළඟ

Picture - Shohag Parvez

අසෝක මල් හාදුව



කාලිදාසයනි මම මේඝදූතය වෙමි
සෙමින් සෙමින් සෙමින්
ගිනි බිඳින මුදු දෑස මඟ හැර
පා කර එවමි අසෝක මලක හාදුව
නිල් ඇස් ඇති ව කවුළුවෙන් එබී
මඳ සිනහ වස්සන විට
කාලිදාසයනි මම මේඝදූතය වෙමි

සොඳුරිය
අපි වන මැදට හැලෙන වැසි වෙමු
කාන්තාර, මංමාවත්, කඳු වෙමු
ඇතැම් විට කුණාටු රළ වෙමු
ඇතැම් විට නිසසල ව ඇවිද යමු
එන්න මා හදවත මතට
අපි අලුත් ආදර කතාවක් වෙමු

මා හද සයුර සිප
ඔබ සඳක් මෙන් නැඟී එයි
එන්න වැස්සට තෙමෙන
තුරු පතක් වෙන්න
අපේ ආලය සයුරු රළ මත ලියැවෙයි
සියලු දේ දරා සිටින මුහුද මෙන් ඔබ සුන්දරයි
ඔබ දැනටමත් මා වී අහවර යි
මට ඔබ තුළ මියයන්න අවැසි යි
අප වෙනුවෙන් නිම්නවල මල් පිපෙනු ඇත
එන්න අපි ඇවිද යමු මල් පිපෙන තැනිතලා දෙසට

ඉර හඳ තරු කඳු මිහිදුම්
නිමක් නැති සයුර මා දෑස බව
කියා නොකියන ඔබ
කියන්නෙහිද මට
කේරළයේ නිලඹර
කුඩා තරු කැට දිදුලන බව
රාමායනය පහුර කොට
රාවණා බිමට පැමිණිය හැකි බව
මුහුදින් වෙන් ව සිටිය ද
අපේ හදවත් එකට ගැහෙන බව
ඉතින් මම ආලයෙන් විසංඥ වීමි
කාලිදාසය

ඔබේ ආත්මය හඬන බව
දැක ගනු පිණිස අහසට
සඳ තරු විසි කරන වග
වෙන් කළ කඳුළකින්
මුහුදු දිය ලුණු රස බව
තුරුපත් සලිත කර හමා යන සුළඟේ
සිනිඳු සිත දකින බව
ගැඹුරු නිල් පාට කඳුවලට
ආලය කරන බව
කියන්නෙහිද කාලිදාසය

සෘතු සංහාර, මේඝ දූතය
මුමුණමින් මා සවනට
පා කර එවූ අසෝක මලක හාදුව ය
තව ම මා යහන මත
කඳු සිසාරා ඇවිද යන සඳ පහන,
නිල ඇස් සහිත මහ මුහුද,
ඉඳින් මා කුමට කිමිදෙම්ද එහි පත්ල
ඔබ මා මුළු ආත්මය මලින් පූදන කල

තබා පෙම් කවි රළු දෙතොල
අමතමි කඳුකර සානුවට
නොයමි පිටස්තර ලෝකයට
රැඳෙමි මල් පිපෙන ඔබ කුඩා මිදුල
එවමි මම මේඝ දූතය
වැළපෙන ඇස් සමඟ නොපෙනී යන
ධූම පිරි කඳුකරය වෙත
දිව්‍යමය පෙම්වත
පෙම්වතිය ඔබ මල් රැගෙන
මා එනතුරු රැඳෙන්න
එහෙත් මම දොරක් නැති නිවෙස් හිමියෙක්මි
කිසි විටෙක ඔබට තුළට එනු පිණිස
ඇරයුම් නොකරන
පිට ව යන්නට
බල නොකරන

අහෝ පෙම්වත,
යාම හා ඒම නොවේ අප පිළිවෙත
රැඳී සිටීම පමණ
සෘතු නියාම විසි කර
මුහුදු දිය කලඹා
එන්න දිය බත් වෙන්න
සඳ නැගෙන තුරු ඉන්න

උදෑසන සුබ පැතුම
මඟ හැරුණු සාගරය
උණ්ඩයකින් රිදුම් ලද
සතෙකු සේ
රළ නඟා දඟලයි

ආදරිය
බැස යන හිරුගේ රත් පැහැය
මම ඔබේ මුහුණේ තබමි
තටු විහිදා පියඹා එනු මැන
උණුසුම් හාදු පිළිගෙන
මා සොවෙනි, උන්මාදයෙනි
ඔබ මා'සල නැති විට
ආලය කියන්නේ එයටදැයි
මම නොදනිමි

එක් ව යන්නට ඇති
බොහෝ සැතපුම් කණු අතර
ඉතින් මේ උදෑසන
සමනලියක් අවදි වන
මල් පිපුණු තැනිතලා පසුකොට
හමා එන සුළඟට
ඉඩ දෙන්න ඔබ කියඹු රොද
සිපගන්න සොඳුරිය

දැක ඇතිද කඳු හිස
නිල ගැඹුරු දෑස
කතා කර ඇද්ද ඔබ එයට
රොමෑන්තික භාවයෙන් උද්ධමනය ව

ආලයෙන් මම පිබිදී සිටිමි
මලානික මලක් පුනරුදය ලබන්නා සේ
එහෙත් එය මා පෙළයි

විහඟුන් කෙත් ඉහළ ඉගිල යයි
මට අවැසි යි ඔබ මුව සිඹින
වී කරලක් වන්න

හදවතට උණු දිය සලා
සොයමු මධු සඳ
කදෝපැණියන් අල්ලා
පළඳවමු ගස් මත
අහසෙ හරි මැද මැනලා
අලවමු රතු සඳ
ලොව සියලු පාලකයිනට එරෙහි ව
ගයමු අපි අපේ පන්තියේ ආදරය!!

Picture -
Brenda Burke

Saturday, April 26, 2014

වෙනත් 'මන්දාකිණියක'ත් ඔබට ආදරේ අය ඇති



මට ඔබ රැගෙන යා හැකි
තවත් එක විදිහක් ඇති
ඔබ පිළිබඳ ලිවීමය
කිසිවෙකුට නොරිදෙන සේ

ඔබ කඳු මුදුන නිවස
දැන් ඔබ එහේ නැති
පහළ නිම්නයේ ගලන දිය ඇලි
තවම ගලනවා ඇති

සිතින් ඔබ නිවසට යමි
සිප ගනිමි අහස සිඹිනා කුටි
මම නරක කෙල්ලක්මි පෙර සිට
ඔබ වෙත ලියූ ලියුම් මිටි

මා කොහොම ඔබ හට ආදරෙද
ඔබ නොදන්නවා ඇති
ඉලක්කම්වලින් ලියූ ආදරය
ඔබට අමතක ම වෙලා ඇති

අකාසේ තරු දෙස
ඔබ බලා ඉන්නව ඇති
වෙනත් 'මන්දාකිණියක'ත්
ඔබට ආදරේ අය ඇති

ඔබ එය නොදන්නව ඇති
ඔබට අමතක ම ඇති

Picture - Gleb Goloubetski

ඔපෙරා මන්දිරයක්ය ඔබ



ඔපෙරා මන්දිරයක්ය ඔබ
එක විට සියක් ඔපෙරා වැයෙන
දැන් ඉතින් නොවයන්න
'නොදොඩන්නැයි බහුභූත ඔය'

හුදෙකලාවේ දැහැන බිඳගෙන
වැයෙන ඔපෙරා සහස් කෘති මැද
අලුවක් අහිමි වයලීනයක් වෙලත්
ඔබේ හදවත කුල්මත්ය පුදුමය

තනු දහසක් හිමි ව ලංකෘත ව වැයෙනා
එහෙත් ඔබ අහංකාර වදනක් ම සොයනා
සමුදුරු ගණන් ඈත ඔබ ළඟම හිඳිනා
මමත් ඔපෙරාවක් ඔබට නොම හැඟෙනා

Picture courtesy - www.dailytelegraph.com.au

අල්මාෂි



ඔන්ඩට්චි
මම ඉතා බය වෙමි
මුණ ගැසේ යැයි මට
අල්මාෂි

සියලුම ශික්ෂාපද එක විට
බිඳන්නට හැකි අල්මාෂි

අල්මාෂි හමුවුණත් මිතුරිය
ඔබ ඔබම හැර වෙනත් කවුරුද
තදින් ඇස් පියා ගෙන ඔබ
හිතින් විතරක් හිනා වෙනු ඇත

Picture - Fabian Perez, Argentino

එක්තරා බීර විශේෂයක්



එක්තරා බීර විශේෂයක් ඇත
ඔබ විසින් මා වෙත හුරු කරන ලද
ඔබ මා අතැර ගිය පසුත්
පුළුස්සාගෙන උගුර
ළය මත දැවී නවතින

Picture - Brad Kunkle, American

Friday, April 25, 2014

ස්වාමීනී ඔබ දැන දැන සියලු දෙය..



ස්වාමීනී ඔබ
දැන දැන සියලු දෙය
වදාරන සැටි මා වෙත
'ඉවසන්න..ඉවසන්න' ආනන්ද
'නොසැලෙන්න..නොසැලෙන්න' ආනන්ද

ස්වාමීනී දැක නැත මම
දිය ඌල් තුති පුදන තුරු වෙත
අහස නිල පිළිබඳව දොඩමින්
විරිත්තාගෙන යනු මිස
සුබ පතත්ද ඔවුහු
අලුත උපදින පැළ වෙත
උගුලුවාගෙන ඔවුන් හද
ගස්සමින් බඳ යනු මිස

ස්වාමීනී නොසැලීම කවරක්ද
සීතල සිතින් උපන්
උණු කඳුළු බිඳුවක පිසීමද? අහෝ!

Picture - Vincent van Gogh (Dutch, Post-Impressionism, 1853-1890): Emperor Moth, 1889. Oil on canvas, 33.5 x 24.5 cm. Van Gogh Museum, Amsterdam, Netherlands

Thursday, April 24, 2014

මිහිදුම ගයන කම්පිත ස්වරය



ඇසෙනවද ඔබට
මිහිදුම ගයන කම්පිත ස්වරය
ඒත් මම කැමතිම
මිහිදුමෙහි සැඟවෙන්න

Picture - Haputale, Sri Lanka, April 18, 2014

Sunday, April 20, 2014

දුරකථන කණු දෙකක්



කඳු මුදුන හිඳ ගත්
දුරකථන කණු දෙකක්
නිහඬ කතාවකි
රෑ එළි වන තුරුත්

Picture - Inna Tsukakhina

Sunday, April 13, 2014

මා පතන ලොව සැඟවුණු අමුත්තෙක් වැනිය!



අලුත් අවුරුද්ද ගැන මට
කිසි දෙයක් හිතෙන් නෑ ඇත්ත
ඒත් අර අන්න
නැවුම්බර උදෑසන!

පිනි වැටී ඇත මිදුල
මල් පිපෙනු ඇත නිබඳ
තුරු මතෙහි පත් පවා
ලලිත රැඟුමන් රඟන

ඒත් මට නම් තවම
මා පතන ලොව සෙවුම
කිසි කලෙක නොම සොයනු
බැරි (සැඟවුණු) අමුත්තෙක් වැනිය!

Picture - Pier Toffoletti

Friday, April 11, 2014

එහෙවු කළු ගඟ ඔබ කළු වුණේ කොහොමද?



කළු ගඟ කළු ගඟ කළු ගඟ
කළු වුණේ ඔබ කොහොමද
කඳුළු පාටද දුක්පතුන්ගේ
සුසුම් වෙළෙවිද පැල්පතුන්ගේ

සාද ලා නුඹ අසල මත් වී
බඳ මහත ළෙලවා නටන උන්
දැක නුදුටු සේ අහක බැලු ඔබ
හිස නමා වැන්ඳාය බෝ නම

නෙළුම් මල් අකලට හැලී දිය
නලන් පණ අහසට පිදූ සඳ
ලුණු ම ලුණු කඳුළක් හිතින් ගෙන
කළා පියමන් සාගරය වෙත

එහෙවු කළු ගඟ ඔබ කළු වුණේ කොහොමද?

Picture - Claude Monet (French, Impressionism, 1840-1926): Seascape, 1866

Thursday, April 10, 2014

ඇල්මැරුණු ආදරය



ආදරය ගැන ප්‍රේමය ගැන
මට තිබෙන්නේ ඇල්මැරුණු සොබාවක්
කාලයක් නොවේ නම් කෙනෙකුට
ඉබේ පහළ නොවේ කිසිවක්

එක තැනෙක එක සැටියෙන්
හිඳ සිටින්නට බැරි හැටියක්
කොරිඩෝව සේදුවොත් නරකද
දූවිල්ල නේද හරියට
උයනවා උයනවා තුන් වර
ලුණු මිරිස් නැතිය ගණනට
මා ආදරෙයි කීවොතින් ඔබ හට
එය මහා විහිලුවක් සකිසඳ

Picture - Heinrich Ludwig Wittich, German

එහෙත් මා හඳුනන අයෙක් සිටිනවද නොදනිමි.



නැගෙන සියලු කඳුළු
සුසුමකින් වියළවා ගනිමි
කිසිවෙකුත් හා කතා නොකරම
දවස අවසන් කරමි

මෙවන් දවස් කොතෙකුත්
ගණනය නොහී ගණනක්
නිම කර තිබෙනු ඇත අප
සංසාර ගම්මාන තුළ

හද සංවාද නොවුණද
මුද්‍රා වැදේ දිනකට නොයෙක් වර
මගේ නම සහ රැගෙන තනතුරු
විරිත්තයි මට ම නොවියළි තීන්ත

දිළින්දනි,
මා මෙතරම් දිළිඳු කළේ
හිතක් පපුවක් නැතිව
මා සූරා කෑ ඔබ නොවෙද
එහෙත් මම නො අසමි

"යාළුවා නිසා ඔයා නම් සල්ලි ගන්න එකක් නෑනේ.."
"හදිස්සියක්.. සීල් එකත් අරන් එන්න පුළුවන්ද?"
"පොලිසියට යන්ද මා එක්ක?"

මට මිතුරෝ ගොඩයි
සිනහ වෙන අය බහුලයි
එහෙත් මා කවුදැයි දත් අයෙක්
සිටිනවද නොදනියි

පිස ලූ නමුත් ඔබ දුක් කම්කටොලු
මගේ එක කඳුළකුදු
ඔබ නොදන්නා හැටි අරුමයි

"ආනන්ද, ඔබ වටහා ගනීවි"
එක හඬක් පමණක් මට ඇසෙයි

Picture - Lee Bogle

මට නම් උවමනා හැර යන්න කඳුළු සාගර



ඉපැදීම මෙහෙවු රට
පිනක් යැයි කිවු දනත් ඇත
මට නම් උවමනා
හැර යන්න කඳුළු සාගර

මගේ හද ඇවිලෙන විලාපය
රටක රජකම් නිසා නම්
මලක් පිබිදෙන සිනා සුව පිරි
රටක් මට වාසනාවන්

හැර යන්න උවමනා මට මගේ රට
නිමක් නැතිවම හදක් හඬවන සුපින රට

Picture - Gleb Goloubetski

මා මිය ගියොත් ඔබ නිසාමැයි.. මගේ අත්තටු අලවාගෙන බඳ ඉහළ නැඟි ඔබ නිසාමැයි..



කුරුල්ලනි මම වැළපෙන්නියක්
උණුසුම් බර අත්තටු නොම දත්
සිහින පිරුණු ආකාසෙ දුරයි
දෙපයින් ඇවිදින්නට බැරි වෙයි

කවුරුන්ද මා අත්තටු සොරාගෙන ගියේ
ඔබමැයි
මගේ අත්තටු අලවාගෙන බඳ
ඉහළ නැඟි ඔබමැයි
ඔබ ආකාසෙ සරයි
බිමට වැටි මම පැරදුණේ දැයි
මමත් නොදනියි

මා හද සිදුරු කර දිනන්නට ඔබට හැකි
පුදුමයි
සගය මා මිය ගියොත් ඔබ නිසාමැයි
මගේ තැන ගෙන මගෙ පාට අහසට විසුළ
ඔබ නිසාමැයි
ඔබ දිනූ බව නොදනියි
දුකින් පැළවෙන එකම කවියක
රිදුම පමණක් දැනෙයි

ලෝකයේ හැටි ඔහොමයි
මා මියගියොත් ඔබ නිසාමැයි

Picture - Nico-Vrielink

Wednesday, April 9, 2014

රාජ්‍ය සම්මාන සඳහා ග්‍රන්ථ නාමාවලිය

http://www.culturaldept.gov.lk/web/index.php?option=com_content&view=article&id=171&Itemid=171&lang=si

News - http://www.dinamina.lk/epaper/art.asp?id=2014/04/10/pg16_0&pt=p&h=

සයුර මම, ඔව්



මම සයුරමි
විරහ විරත බව ඔබ සිතූ
ඇසි පිය රළහු ඔසවමින්
කඳුළු පුරවා හඬමි
ජීවිතේ සියලු පැතුම්
පෙණ බුබුළු හා බිඳෙන සැටි දකිමි

ගඟ
ඔබට නොපෙනෙනවා විය හැක
දුක් ගංගා රාසීහු සඟවා ගෙන
දිය බිඳක් නොපුදන
ආකාස ගඟ දෙස ඇස් යොමා
වේදනාවෙන් නිසල වූ හැටි මම

නුඹ නුරා පෙම්
සිපගන්න බැරිතරං
ගැඹුරු රිදුමන් දරන
සයුර මම
ඔව්

Picture - Alexander Hodyukov

මගේ පණ නල ඉවත ගෙන යනු මැනේ සොබා දහමේ..



කිසිවෙකුත් හා බෙදා ගත නොහැකි දුකකි කඳුළකි
එකක් වියළා නතර නොවනා ගැඹුරු සුසුමකි
ළමැද හරි මැද රිදුම් දෙවනා නිබඳ දැවුමකි
නැවත නැවතත් කියා පල නැති ම'හද තැවුලකි

පැරදි පැරදී නැඟුණු මිනිසුන් ගැන කියන්නට
බිඳක් හෝ මගේ හිත සවි රැඳී නැති
බඩ ගගා ගොස් දිවි අගිස්සක
තවත් යනු නොහී පා සුළැඟිල්ලකින් රැඳී සිටිමි

මට මතක් වෙන්නේ ම
අර්නස්ට් හෙමිංවේ
මහා ගත් කරු හෙමිංවේ නොවෙයි
සියතින් පණ ඉවත ලූ හෙමිංවේ
එහෙත් මා සිත කියයි
කල් නොදමනු මෙ වර
විඳවාම අවසන් කරනු මහත් දුක්

තවත් රැඳී සිටිනු නොහැකි මවුරටේ
රජයත් රාජ්‍යයත් එකක් වූ රටේ
මගේ පණ නල ඉවත ගෙන යනු මැනේ
සොබා දහමේ!

Picture - Zhao Chun



Sunday, April 6, 2014

සහසක් පාට ගෙන එන තුරු



නැවත නැත හැරෙනු
නික්ම යනු

ගෙඹි හඬක් මෙන් ඇවිල
නොනාඬනු
අතු ඉති ඉපල් අවුල් කරගත් ශීතය
වැසි දියෙන් අලුත් කළ
සහසක් පාට ගෙන එන තුරු

සඳ උගුලුවා දමමි



මධු විත අතට ගෙන සඳ දෙස බලමි
සඳ පතුරන්නීය අණසක
වෙල් එළි, තැනි ගොඩැති බිම්, වන අරණ් පුරා
කවියන් අත තැබූ විට මධු විත්
ලියැවෙන බැව් බොහෝ දේ කීවත්
බැමෙමි
බිම දිගාවෙමි
කෙත් මඩට පනිමි
මඩෙහි දිලිසුණු සඳ උගුලුවා දමමි

Picture - Phoebe Anna Traquair, Irish, 1862-1936, Love's Testament

අඳුරුය ඉහළ ආකාශය


තනියම ඇවිද යමි
ටොරින්ග්ටන් බස් නැවතුමට
වැටෙන සිරි පොද දෑතින් ඉවත ලමි
තනිකමකි හද දවන අපමණ
අඳුරුය ඉහළ ආකාශය

Picture - Alfred Sisley (British, born and resided in France most of life; Impressionism, 1839–1899): The Small Meadows in Spring, c. 1880-1881. Oil on canvas, 54.3 x 73 cm. The National Gallery, London, UK.

Friday, April 4, 2014

මල් දහසක් අතර සමනලියක්



හිරු එළිය වැතිර යයි
Hori Kiri මල් යායෙහි
පැහැදුල් දිනයකි වසන්තයෙහි

පුත මල් දහසක් අතර
සමනලියක් සොයන්නේ ඇයි?

Picture - Theodore Wores, American, 1859 - 1939, The Flowers of Hori Kiri, Tokyo

Tea with Raspberries



රැස්බරි සමඟ තේ
සකසන්න බැරිද හවසට
වෙලා පොඩි මිදුලට
කාක් ගී අනවරත අසනට

මිදුලෙ ඉන්දූ තක්කාලි
පැළවෙලා නේද යහමට
අමු මිරිස් පැළ ටිකත්
හිනාවෙයි ඔබෙ දෑස් දැක හනිකට

ජීවිතේ බැරි කාලෙදිත්
ඔයා හිනාවයි තිබුණෙ හයියට
කස්තිරම් ගැහුවත් නොවක් පැන
අතින් අත අල්ලගෙන

Picture - Polina Luchanovo, Russian, Tea with Raspberries

ඇහැළ මල් වෙනුවට අසෝක පිබිදුණෝතින් වැරදිද?



බයක් නම් කියන්නේ මොනවද
වෙඩි උණ්ඩයක් ළය මත තැබුමද
සුරත් පල නෙළා මිහි මත
නිසංසල වී යාමද

මගේ මොට්ටුව ඔබ නළල මත
නොතැබීම සාපයක්මද
ඇහැළ මල් වෙනුවට අසෝක
පිබිදුණෝතින් වැරදිද?

දුකක් නම් කියන්නේ කවරද
හැම හදක් වෙව්ලන සරයද
එකින් එක ගෙනත් ඒ හද
එයත් මැනිය යුතුමද?

Picture - Charles Dwyer, American Born 1951, The Silver Dress

අමුතු සිනහවක්



වැසිබර දවසක
ඈත සඳළුතලයට වී
කතා බහ කරමින් සිටිනු පෙනේ දෙදෙනෙක්

කුරුල්ලන් මෙන් ඉගිල යන ඔවුන්ගේ සිතිවිලි
වැසි පොදෙහි රිත්මය දෙස බලා හිඳියි

ගෝලයෙන් එපිටට ගොස් බලන විට
ඔෆීසි වැඩපළවල මිස්, මැඩම්, සර් කියාගෙන
වැඩකරන මිනිසුන් දෙස
නැඟෙයි හරි අමුතු සිනහවක්

ජීවිතේ සැබෑ ගමන හඳුනාගත් අරුතින්

Picture - Sherree Valentine Daines, British, born 1956, Strolling Along the Pier

ලාවා මිදී ගිය ගිනි කන්දමි මම



දුම්රියෙහි කණුවක් බදා යන
අහිංසක කෙල්ලක ලෙස
නොසිතිය යුතුය ඔබ මා ගැන
වේදනා ලාවා දහරින් මිදී ගිය
ගිනි කන්දක්මි මම

කොළ පැහැති කඳුකරය මත
නවතිනු නොහැකි තරමට
ගිලන් විය ජීවිතය
වේගයෙන් ඇදී යන දුම්රියක් පරිද්දෙන්
නොසන්සුන් මම

ඔත්පලව ඉන්න අම්මා
සුවපත් කළ යුතුය මම
පන්තියට යන්න සල්ලිත්
නංගිට යැවිය යුතුමය
මැසිමක් වගේ මං වැඩ කරන්නේ මෙහෙම ම
අම්මාත් නංගීත් හීනෙනුත් දැක දැක
උරපතුත් රැවුම් ගෙරවුම් ලද සිතත්
රිදෙන විට අපමණ
කෝච්චියේ එල්ලී බෝඩිම බලා යන
ලාවා මිදී ගිය
ගිනි කන්දමි මම

Picture - Andrey Kartashov, Ukranian, Born 1974, Gypsy

මා කැමති දෑ ඔබ මුහුණ මත



සිගරට්ටුවක් වෙනුවට ගතිමි පින්සල අතට
දැන් මට අඳින්නට දෙන්න
මා කැමති දෑ ඔබ මුහුණ මත

සොඳුරිය මම නිල්පාටට කැමති නැත
දැන් ඔබ අඳියි මා මත මුහුදෙහි සහ කඳු මුදුන්වල පැහැය
පින්සල වෙනුවට මට දෙන්න ඔබ සඟවාගත් රෝස මල!