Friday, February 28, 2014

ගිනි කුකුළු සංදර්ශනය



ගිනි කුකුළු සංදර්ශනය
අපගේ මිදුල මැද
බිඳක්වත් බිය සැක නැතුව
හා හා රඟන හැඩ

සලන්නී ගිනි කුකුළු ළඳ
පියපත් බඳ ලකල
වයිරං පිය විද දක්වයි
පෙළ රැඳි පිය පවුල

ළමයෝ බිම ලනු අත ගත් - ගල් කැට
විඳගන්නට බැරිද
සොබා දහම් අම්මා මැවු - ලස්සන
අරුමැති හැඩ විහඟ

Picture - Guinea Fowl – Shelton Shavi
Picture Source - http://zimbabweartistsproject.org

මගෙ රන්වන් මුහුණ අහස මත



දුම්රියේ දොර'සල
සිට බලන කල අහස මත
මැවේ ඔබෙ රන්වන් මුහුණ

බඳ ලෙලන මැදිරි ලලන
වයන සැක්සෆෝනයක හඬ අතර
මම සිනාසෙමි

කොතරම් සුන්දරද ගමන දුම්රිය
නොබැස ඈතට යන්න හිතෙන
හිතින් පඩිපෙළෙහි හිඳගෙන
කියුඹු මෙන් පාවෙන සිහින
කඩවසම් කොල්ලන
නොබලන්න ම'දෙස
මගෙ රන්වන් මුහුණ අහස මත

Picture - Vincent van Gogh (Dutch, Post-Impressionism, 1853-1890), Bridges Across the Seine at Asnières, 1887

Thursday, February 27, 2014

අනේ පකිස් බූරුවනි, තොපි වැනි උන් සිටිනා කල මේ රට ම අමන හිනාවක්



මම 5.28 ශීඝ්‍රගාමී කෝච්චියට 5.31ට  දුවමින් සිටියෙමි. ඇමති දියණියකගේ මැතිවරණ ප්‍රචාරණ කාඩ්පත් බෙදමින් මා දුවයන මඟ සිටි තරුණ කොලු පිරිසෙන් එකෙක් මා වෙත කාඩ්පතක් දිගු කළේය. මම පුරුද්දට 'එපා' යි අඟවමින් අතක් පියවීමි. "ඇයි එපාද?" කියමින් ඔවුහු මා වෙත උස් හඬින් හිනාවූහ. මම නැවත නොහැරී ඉදිරියටම ගියෙමි. අනේ පකිස් බූරුවනි, අපට හිනා වී උන්ට හුරේ දමන තොපි වැනි උන් සිටිනා කල මේ රට ම ඔය වැනි අමන හිනාවක් නොවේද?

Autumn Flowers


විල මත උදුලන සුරත් ඕලු පෙති අමුණා හුයකට පළඳා ඉඟ සුඟ
නෙළුමක් පැද්දෙන ළය ගෙන තාලෙට සුරංගනාවක් නටයි වලා මත
තබනා පා පොඩි සොලවා මිණි මිහි මවයි සිහිල් දිය ඌලත නී රළ
වසත් සමය පසු කළ පෙම් කුසුමක අරංගේත්‍රම වුවත් පහසු නැත

Picture - Nikita Fomin, Russian, Autumn Flowers

ප්‍රහේළිකාව සහ ගණිතඥයා..




ලෝක ප්‍රසිද්ධ ගණිතඥයෙක් දවසක් වෙළෙඳසලකට ගොඩ වුණා. ඒ තම පුතුගේ උපන් දිනයට එයාට දෙන්න තෑග්ගක් ගන්න. ඔහු නොයෙක් දේ තේරුව. ඔහුට අවශ්‍ය වෙලා තිබුණේ තම පුතා තමන්ටත් වඩා ඉහළ මට්ටමේ ‘ගැටලු විසඳන්නෙක්’ බවට පත් කරන්න. ඒ නිසා එයට සරිලන, ඒ හැකියාව වර්ධනය වෙන ආකාරයේ යමක් මිල දී ගන්නයි ඔහු උත්සාහ කළේ. ඒත් ඔහුගේ හිතට සෑහෙන යමක් තෝරාගන්න බැරි වුණා. ඔහු වෙහෙසට පත් වුණා. කේන්තිත් ආව.

අන්තිමේදී වෙළෙඳ සේවකයා පසෙකට කැඳවූ ගණිතඥයා තම අවශ්‍යතාව ගැන ඔහුට කීවා. ඔහු ඉතාම ඉක්මනින් යමක් ගෙනත් ගණිතඥයා අත තැබුවා. “සර්, මේක නම් සර්ගෙ පුතාට කදිම තෑග්ගක් වේවි” ඔහු කීවා. ඒ ජිග්සෝ ප්‍රහේලිකාවක් (Jigsaw puzzle). එය අතට ගත් ගණිතඥයා එය විසඳන්න උත්සාහ කළා. බොහෝ වේලා එයට උත්සාහ කළත් බැරි වුණා. දැන් සාප්පුවට ආපු අයත් වෙළෙඳසල් හිමියාත් ඇතුළු බොහෝ දෙනෙක් ගණිතඥයා ගැන බලාපොරොත්තු සහගතව බලා සිටිනවා. ඒ අයත් සිතුවා ඔහු ප්‍රසිද්ධ ගණිතඥයෙක් නිසා මේකට සම්පූර්ණ විසඳුමක් ඉදිරිපත් කරයි කියල. විශේෂයෙන් සාප්පු හිමියා බොහෝ සතුටෙන් බලාපොරොත්තු සහගතව සිටියා. එහෙම වුණොත් ‘විසඳුම් වෙළෙඳාමත්’ තමන්ට කරන්න පුළුවන් නිසා.

අන්තිමේ ගණිතඥයා වෙහෙසට පත් වෙලා ලජ්ජාවට පත් වෙලා කේන්තියෙන් වෙළෙඳ සේවකයාට මෙහෙම කීවා: “මටවත් විසඳන්න බැරි මේක මගේ පුතා කොහොමද විසඳන්නේ මිනිහෝ?” එසේ කියමින් ඔහු එය කේන්තියෙන් වෙළෙඳ සේවකයා අත තබා යන්න සූදානම් වුණා. එවිට ඉතා සතුටින් ගණිතඥයාව නැවැත්වූ වෙළෙඳ සේවකයා මෙහෙම කීවා: “සර්! ඔබ එය විසඳුවා! මෙය මිලට ගත් අයගෙන් ඔබ විතරයි එය විසඳුවේ!” ගණිතඥයා ඇතුළු හැමෝම ආයෙත් ‘ගණිත ගැටලුවකට’ මැදි වුණා. එවිට වෙළෙඳ සේවකයා මෙහෙම කීවා:

“සර්, මේක හදල තියෙන්නෙම සම්පූර්ණ විසඳුමක් ගන්න බැරි විදිහටයි. තාවකාලිකව එක් එක් පැතිවල විසඳුම් එනව. ඒ නිසා මිල දී ගන්න හැමෝම හිතනව මෙය සම්පූර්ණයෙන් විසඳන්න පුළුවන් වේවි කියල. එහෙම හිතල මිල දී ගන්නව. ඒ අය හිතනව මේක විසඳන්න පුළුවන් එකක් කියල; විසඳන්න උත්සාහ කළාම තමන්ගේ දරුවෝ ගණිතඥයෝ දාර්ශනිකයෝ විද්‍යාඥයෝ දේශපාලනඥයෝ බවට පත් වෙනව කියල. ඇත්තටම එහෙම වෙනවා. මොකද: ඔවුන් කිසිවකුට මේක විසඳන්න බැරි නිසා. ඔවුන් ප්‍රශ්න විසඳන අය නොවෙයි නේ! ඉතින් මේක කවදාවත් කරන්න බෑ. අන්තිමේ ඒ අය වෙහෙස වෙලා කේන්ති අරගෙන එක්කෝ මේක නිපදවපු අයට බණිනවා; නැත් නම් විකුණන අයට බැණවදිනවා. බැණවැදිල වෙනත් තැනකින් අලුත් එකක් මිල දී ගන්නව. ඒව හදන්නෙත් එකම කොම්පැනියෙන්. හැඩය හා සැකැස්ම විතරයි වෙනස්. අපේ වෙළෙඳාම දිගටම කෙරෙනව.”

ගණිතඥයාට තවත් කේන්ති ගියා. “එහෙම අමන බඩු තමුසෙල විකුණන්නේ ඇයි?” ඔහු කේන්තියෙන් ඇහුව. එවිට වෙළෙඳ සේවකයා ඉතා යටහත්- පහත්ව මෙහෙම කීවා: “සර්, ජිග්සෝ ප්‍රහේලිකාවක් කියන්නේම සියලු පැති විසඳන්න බැරි එකක්. එක පැත්තක් විසඳනකොට ඒ වෙනස් කිරීම නිසාම අනෙක් පැත්ත අවුල් වෙනව. ඉතින් කවදාවත් මෙහි ඇති සියලු පැති විසඳන්න බැහැ.” “ඉතිං අමනයෝ! එහෙම එකකින් ඇති වැඩි මොකද්ද?” ගණිතඥයාට හොඳටම කේන්ති ගිහින් ඇහුව.මේ වේලාවේ වෙළෙඳසල් හිමියාටත් කේන්ති ගියා. මොකද: තමන්ගේ ජිග්සෝ වෙළෙඳාමට මෙයින් හානියක් වෙන්න පුළුවන් නිසා. එය තේරුම්ගත් වෙළෙඳ සේවකයා ගණිතඥයාව පසෙකට රැගෙන ගිහින් මෙය තේරුම් කර දෙන්න උත්සාහ කළා:

“සර්, මේකෙන් කියන්නේ ජීවිතය ගැන. ජීවිතය විසඳන්න පුළුවන් එකක් නොවෙයි. එක ගැටලුවක් විසඳන විට අනෙක අවුල් වෙනව. නමුත් අපි හිතනව සියල්ල විසඳන්න පුළුවන් කියල. දිගටම උත්සාහ කරනව. අපි පරාජය වෙන්න කැමති නෑ. බලාපොරොත්තු කඩ වෙනවා; වෙහෙසෙනවා; නමුත් අත්හරින්නේ නෑ. මේ උත්සාහයේදී මේක ගෙවිල කැඩිල යනව. ඉතින් ඒ අය ඇවිත් අලුත් එකක් ගන්නව. ආයෙත් උත්සාහ කරනවා. එච්චරයි. මේක විසඳන්න බැරි එකක් කියල තේරුම් ගන්නේ නෑ. එක පැත්තක් හරි යන විට බලාපොරොත්තු ඇති වෙනවා. අනෙක් පැත්ත බලපුවහම ඒ පැත්ත අවුල් වෙලා. එය විසඳන්න උත්සාහ කරනවා. එතකොට කලින් විසඳපු පැත්ත අවුල් වෙලා. මේ තත්ත්වය තේරුම් ගන්න තමයි මේක හදල තියෙන්නේ. ඒත් කවුරුවත් තේරුම් ගන්නේ නැති නිසා අපේ ‘ජිග්සෝ’ හැමදාම විකිණෙනවා.”

ගණිතඥයා මඳක් කල්පනාවට වැටුණා. ටික වෙලාවකට පස්සේ ඔහු වෙළෙඳ සේවකයා දෙසට හැරී මෙහෙම කීවා: “දරුව, මට ජිග්සෝ පහක්ම දෙන්න.” ජිග්සෝ ගන්න ආපු අයටත් වෙළෙඳසල් හිමියාටත් පුදුම හිතුණා. “එන්න සර් රාක්කෙ ළඟට. අපි ළඟ විවිධ වර්ගවල ලස්සන ලස්සන ඒවා තියෙනව. සර්ම තෝරගන්න. මං උදව් කරන්නං.” ඔහු ගණිතඥයාව ජිග්සෝ රාක්කය ළඟට එක්කරගෙන ගියා. ඒත් දැන් ඔහුත් ගැටලුවකට පත් වෙලා. ජිග්සෝ තෝරන ගමන් ඔහු ගණිතඥයාගෙන් මෙහෙම ඇහුවා: “ඇයි සර් ජිග්සෝ පහක්ම ගන්නේ?” ගණිතඥයා මෙහෙම කීවා: “එකක් මගේ පුතාට. එයා මං තරම් කාලයක් අනවශ්‍ය දේවලට ජීවිතය නාස්ති කරගන්නවට මං කැමති නෑ. අනෙක මගේ නෝනට. කවදාවත් කිසිම දේකින් සතුටු නොවෙන එයාට මේක හොඳම තෑග්ගක්. අනෙක අපේ නැන්දම්මට. මැරෙන්න කලින් එයා මේක තේරුම් ගත්තොත් එයා මට දීපු තෑග්ගට මට ලොකු ප්‍රතිඋපකාරයක් කරන්න පුළුවන් වුණා වෙනව. අනෙක මගේ විශ්වවිද්‍යාලයේ මගෙන් ඉගෙනගන්න දක්ෂම ගණිත ශිෂ්‍යයාට. උගේ බලාපොරොත්තුව මටත් වඩා ප්‍රසිද්ධ ගණිතඥයෙක් වෙන්න. අපරාදෙ අහිංසකයා!” කියල ගණිතඥයා ජිග්සෝ තෝරන්න පටන් ගත්ත.

වෙළෙඳ සේවකයාට කුතූහලයක් ඇති වුණා පස්වැනි එක ගැන. ඔහු මෙහෙම ඇහුවා: “එතකොට සර්, අනෙක කාටද?” “ඒක තමුසෙට,” ගණිතඥයා කීවා. වෙළෙඳ සේවකයා යළිත් ගණිත ගැටලුවකට පත් වුණා. එවිට ගණිතඥයා කෘතඥතා පූර්වකව මෙහෙම කීවා: “ තමුසේ මගේ ගුරුවරයා! ජීවිතය ගැන මට ඉගැන්නුවෙ තමුසෙ. තමුසෙට මට දෙන්න පුළුවන් උසස්ම ගුරු පඬුර මේක.” වෙළෙඳ සේවකයා එය ඉතා සතුටින් අතට ගත්තා.

ගණිතඥයා ජිග්සෝ පහක්ම මිල දී ගන්නා අන්දම දුටු සෙසු අයත් කිසිම සැකයක් නැතිව ජිග්සෝ මිල දී ගත්තා. මොකද: ඒ අය හිතුව මේවා විසඳන්න පුළුවන් ඒවා කියල. ජිග්සෝ පහක්ම මිල දී ගැනීම ගැන වෙළෙඳසල් හිමියා නම් ගොඩක් සතුටු වුණා. ඔහු හිස නමා ගණිතඥයාට ආචාර කළා.

මානව ඉතිහාසයේ ආරම්භයේ සිටම මනුෂ්‍යයා ජීවිතය ගත්තේ ගැටලුවක් ලෙසින්. ඒ නිසා ඔහු එය විසඳීමට උත්සාහ කළා; විවිධ දාර්ශනිකයන් සකස් කර දුන් ‘පාට කණ්ණාඩිවලින්’ ජීවිතය දිහා බලන්න පුරුදු වුණා. එහෙත් ජීවිතය නිවැරැදිව පෙනුණේ නෑ. විවිධ ගණිතඥයන් සකස් කරදුන් ‘එකතු කිරීම්’ ‘අඩු කිරීම්’ ‘වැඩි කිරීම්’ ‘බෙදීම්’ යොදා බැලුව නමුත් ජීවිතයට හොඳ උත්තරයක් ලැබුණේ නැහැ. හොඳටම වෙහෙසුණා විතරයි. අදත් එහෙමයි. සමහරු හිතුවා උත්තරයක් ලැබෙන්නේ නැත්තේ පාවිච්චි කරන ‘පෑන්’ ‘පැන්සල්’ ‘කෝදු’ ‘මාන’ ආදියේ දෝෂයක් නිසා කියල. ඒ නිසා ඒ අය අලුතින් ‘පෑන්’ ‘පැන්සල්’ ‘කෝදු’ ‘මාන’ සකස් කළා. එයින් වුණේ තවත් ගැටලු ගොඩක් එකතු වීම පමණයි.

ඇතැම් අය හිතුව උත්තරය නොලැබෙන්නේ ගැටලුවේ දෝෂයක් හේතුවෙන් කියල. ඒ නිසා ඒ අය ගණන අලුතින්ම සකස් කරල දෙන්නත් උත්සාහ කළා. එහි ප්‍රතිඵලයක් ලෙස දාර්ශනිකයන් ආගමික නායකයන් දේශපාලනඥයන් අතින් තවත් ‘ගණිත ගැටලු’ රාශියක් අලුතින් බිහි වුණා. සිදු වුණේ උත්තරය ගම්‍ය කරගැනීමට තවත් දුෂ්කර වීමයි.

මේ අතර ලෝකයේ එක් මනුෂ්‍යයෙක් ජීවිතය චිත්‍රයක් ලෙසින් දැක්ක. ඔහු රෙදි කඩක් හැඳගත් රෙදි කඩක් පෙරවාගත් අනුන්ගෙන් යමක් ඉල්ලාගෙන ජීවත් වූ ‘අසරණ’ හා ‘අහිංසක’ මනුෂ්‍යයෙක්. සෙසු මනුෂ්‍යයන්ට වගේම මුලින් ඔහුටත් ජීවිතය ගැටලුවක් ලෙස පෙනුණා. ඔහු මේ ජීවිත චිත්‍රය ඉදිරියේ වාඩි වී පැය ගණන් දවස් ගණන් සති ගණන් මාස ගණන් අවුරුදු ගණන් එය නිරීක්ෂණය කළා; එය හොඳින් අත්වින්ද. ඔහුගේඅතේ ‘පින්සල්’ (මතවාද) හෝ ‘වර්ණ’ (කෙලෙස්) හෝ තිබුණේ නෑ. ඒ නිසා ඔහු ඒ චිත්‍රය පින්සල්වලින් හා වර්ණවලින් තමන්ට අවශ්‍ය විදිහට හැඩගන්වන්න උත්සාහ කළේ නැහැ. ඒ නිසා ඔහු අතින් චිත්‍රය විකෘති වුණේ නැහැ.

මෙසේ චිත්‍රය ඉදිරියේ ඉඳන් වසර ගණනක් එය නිරීක්ෂණය කළ ඔහු එහි ඇති වර්ණ හැඩතල රේඛා රිද්ම මැනවින් හඳුනාගත්තා. එහි කිසිවක් අඩුවෙන් හෝ වැඩියෙන් නැති බවත් එය අවශ්‍ය සියලු වර්ණ හැඩතල රිද්ම රේඛාවලින් අනූන සුන්දර චිත්‍රයක් බවත් දුටුවා; ජීවිතයේ ඇති තතු දුටුවා. චිත්‍රය ගැන අලුතින් යමක් කරන්න ඔහුට තිබුණේ නැහැ; අවශ්‍ය වුණෙත් නෑ. අන්තිමේ ඔහු තේරුම් ගත්ත මෙය ගැටලුවක් නොව චිත්‍රයක් බව; මේ චිත්‍රය කිසිවකු විසින් අඳින ලද එකක් නොවන බව. ඒ නිසා මේ චිත්‍රයට අයිතිකරුවෙක් හෝ ‘චිත්‍ර ශිල්පියෙක්’ නැති බවත් ඔහු තේරුම් ගත්ත. කළ යුත්තේ මෙය විකෘති කිරීමකින් තොරව රසවිඳීම බවත් ඔහු තේරුම් ගත්ත.

9-3තමන් චිත්‍රය ගැන තේරුම් ගත්ත දේ ඔහු මිනිසුන්ට කීව. බොහෝ දෙනෙක් පිළිගත්තේ නෑ. අදත් එහෙමයි. මිනිස්සු ඇහුව චිත්‍රය ගැන එහෙම කියන්න ඔහුට ඇති සුදුසුකම් මොනවද කියල. ඔබට චිත්‍ර ගැන තිබෙන උපාධි මොනවද? ඔබේ චිත්‍ර ගුරුවරයා කවුද? ඔබේ චිත්‍ර ඇකඩමිය මොකද්ද? ඔබ චිත්‍ර කීයක් ඇඳල තිබෙනවද? චිත්‍ර ප්‍රදර්ශන කීයක් කරල තිබෙනවද? ඒවාට ලැබිච්ච සම්මාන මොනවද? කියල. මේවට ඔහුට උත්තර නෑ. ඔහු මෙහෙම කීව: “මට ගුරුවරයෙක් නෑ. මම ඇකඩමියකට ගියේ නෑ. එ චිත්‍රයෙන්මයි මම ඉගෙනගත්තේ. මම චිත්‍ර අලුතින් අඳින කෙනෙක් නෙවෙයි. චිත්‍ර අලුතින් අඳින්න බෑ. ඇන්දොත් චිත්‍රයක් වෙන්නේ නෑ. චිත්‍ර ප්‍රදර්ශන කිරීම චිත්‍රය තේරුම්ගන්න බාධාවක්. ඒ නිසා මැදිහත් වීමක් නැතිව චිත්‍රය විඳින්න. එවිට එය අවබෝධ වේවි. එහෙමයි මම එය අවබෝධ කරගත්තේ.” ඔහු තමන් ජීවිත චිත්‍රය ගැන දත් සියල්ල මෙසේ පද්‍ය තුනකින් හකුළුවා කීව.

සබ්බේ සංඛාරා අනිච්චාති
යදා පඤ්ඤාය පස්සති
අථ නිබ්බින්දති දුක්ඛේ
ඒස මග්ගෝ විසුද්ධියා

අප කරන සියලු සකස් කිරීම් (මානසික චිත්‍ර හා ඒ ඇසුරෙන් ගොඩනගන දේ) හේතු-පල දහමට අනුව සිදු වන දේ ය. ඒවා ස්ථිරව නොපවතී. මේ තත්ත්වය අවබෝධ කළ හොත් එවිට ඒ සකස් කිරීම් (සංඛාර) පිළිබඳ පවතින ඇලුම්-ගැටුම් සිඳී යයි. එවිට ඒ ඇලුම්-ගැටුම්වල පලයක් වශයෙන් මතු වූ සියලු පෙළීම්ද නතර වේ; පෙළීම් නිසා ඇති වූ සියලු අපිරිසිදු භාවයන්ද දුරු වේ.

සබ්බේ සංඛාරා දුක්ඛාති
යදා පඤ්ඤාය පස්සති
අථ නිබ්බින්දති දුක්ඛේ
ඒස මග්ගෝ විසුද්ධියා

අප කරන සියලු සකස් කිරීම් (මානසික චිත්‍ර හා ඒ ඇසුරෙන් ගොඩනගන දේ) ආපසු අපේ පෙළීමට (දුකට) මුල් වේ. ඒ සකස් කළ දේවල් ස්ථිර නැත; වෙනස් වේ. මෙය අවබෝධ කළ හොත් එවිට ඒවා පිළිබඳ පවතින ඇලුම්-ගැටුම් සිඳී යයි. එවිට ඒ ඇලුම්-ගැටුම්වල පලයක් වශයෙන් මතු වූ සියලු පෙළීම්ද නතර වේ; පෙළීම් නිසා ඇති වූ සියලු අපිරිසිදු භාවයන් ද දුරු වේ.

සබ්බේ ධම්මා අනත්තාති
යදා පඤ්ඤාය පස්සති
අථ නිබ්බින්දති දුක්ඛේ
ඒස මග්ගෝ විසුද්ධියා

සියලු ස්වභාවයන් (නිවනද ඇතුළත්ව) අපේ පාලනයෙන් තොරය. මෙය අවබෝධ කළ හොත් එවිට ඒවා පිළිබඳ පවතින ඇලුම්-ගැටුම් සිඳී යයි. එවිට ඒ ඇලුම්-ගැටුම්වල පලයක් වශයෙන් මතු වූ සියලු පෙළීම් ද නතර වේ; සියලු අපිරිසිදු භාවයන් දුරු වේ.

මානව සමාජයේ ඉඳපු ඇතැම් අයට මෙය තේරුණා. තේරුණු අය ජීවිත චිත්‍රය හොඳින් නිරීක්ෂණය කළා; එහි ගැටලුවක් හෝ විසඳිය යුතු විසඳිය හැකි යමක් නැති බව තේරුම් ගත්ත. ඒ තේරුම්ගැනීමත් සමග ඔවුන්ගේ සියලු ගැටලු විසඳුණා. ඇත්ත වශයෙන්ම මෙතෙක් පැවතුණේ මේ චිත්‍රය හොඳින් නිරීක්ෂණය නොකිරීම නිසා මෙය විසඳිය යුතුය, විසඳිය හැකිය යනුවෙන් ඇති කරගත් වැරදි නිගමන බවත් ඒ නිසා මිනිසා විසින් මෙතෙක් කර ඇත්තේ වැරදි නිගමනයන් මත සිට කළ වැරදි ක්‍රියාකාරකම් ටිකක් බවත් ඔවුන්ට තේරුණා. එවිට ජීවිතය සම්බන්ධයෙන් එතෙක් ගොඩනගාගෙන තිබුණු සියලු ගැටලු විසඳුණා. එපමණයි. කෙටියෙන් කීවොත් ජීවිතය කියන්නේ විසඳිය යුත්තක් නොවේ. ඒ බව අවබෝධ කරගත් වහාම සියල්ල විසඳෙනවා.

ජීවිතය ගණිත ගැටලුවක් ලෙස නොගන්න. එවිට ඔබ එය විසඳන්නට උත්සාහ කරාවි. ප්‍රතිඵලය වෙහෙස පමණයි.

ජීවිතය සුන්දර චිත්‍රයක් ලෙස දකින්න. එවිට එහි ඇති වර්ණ රේඛා රිද්ම හැඩතල ඇසුරෙන් ඔබට එය අවබෝධ වේවි; එහි සුන්දරත්වය හොඳින් පෙනේවි; විසඳිය යුත්තක් එහි නැති බවත් පෙනේවි. දෝෂය ඇත්තේ ජීවිතයේ නොවේ. අප ජීවිතය ග්‍රහණය කරගන්නා ආකාරයේ ය. අවශ්‍ය වන්නේ අවබෝධයෙන් ජීවත් වීමයි.

Source - දහම් මණ්ඩපය
Picture - E_J_Paprocki

තනිකමත් ජීවිතේ මිහිරි කවියක් කියා මට හිතේ



තනියම ඇවිදිමි
හිතුණු විට බොමි
වැඩියම නිකං වාඩි වී ඉමි
රූපවාහිනිය කරකවමි
එකක්වත් නොබලමි
කවිච්චියට පැන සැතපෙමි

ඕලන්ද ඉස්පිරිතාලෙ
දෙසියපනහෙ තේ එක නිමි
වට පිට යනෙන දන දිහා
නිකමට බලන් ඉමි
තනිකඩ දිවිය සැපකැයි
එනමුදු තව ම නොලියමි

පාට පාට මාල වළලු
තෝරමින් වීථියට යමි
දරු මල්ලන් වඩා ගෙන
විඩා ගත් කතුන් දැක ගැස්සෙමි
බිළාල ඇස් දෙකක් ඇති
බඩ මහත මහත්වරු පාවෙති

තනිකමත් ජීවිතේ
මිහිරි කවියක් කියා මට හිතේ

Picture - Iain Faulkner, Scottish, Born 1972, Coffee Break

රූපලාවණ්‍යය



පිම්පල් ට්‍රීට්මන්ට් ව්‍රින්කල් ට්‍රීට්මන්ට්
ඩිම්පල් මේකින් සිම්පල්
හායි හලෝ

මහත්මිය ඔබට පුළුවන්ද
මා මනස් රුව සරසන්න
පටිච්ච සමුප්පාද අවබෝධ
මන ඇස ගැඹුරු තැනකට ගිල්වන්න
කොණ්ඩෙහි නොව කොන්දෙහි
නැවී ගිය තැන් ඇතොත් ස්ට්‍රේට් කර දෙන්න
රීබොන්ඩින් නං එපා ඔන්න

ගිනි ගත්තු හිස නිවාදෙන්න
ඔය සිනිඳු ඇඟිලින් ටොකු ඇන ඔන්න
පැසී ගිය හිස කෙසක් ගලවා අත තබන්න
එකින් එක බර හිසින් උදුරා දමන්න

Picture - Charles Dwyer, American, Born 1951, Hillary

Wednesday, February 26, 2014

සලකුණු



ඔබ මට පහර දුන් හැම විට
මම ද ඔබ හට පෙරළා පහර දුනිමි
ඔබ මගේ සිරුර මත තැබූ සලකුණු
තිබේ තවමත් නොවෙනස් වී
ඔබේ සිරුර මත මා තැබූ සලකුණු ද
එසේ විය හැක තව ම
ඒවා නිල ලාංඡන නොවෙද
අප සතු ව ආලයක් පැවත ඇති බවට

දැන් අපේ නොව හැමදේම මගේ
මගේ පඩිය ඕනෑවටත් වැඩි වගේ
පිසින්නට නොවෙහෙසමින් ඉස්තරම් කෑම හා
එකක් නිම වූ පසු එකක් මිලට ගෙන එන
නොයෙකාකාර පොත් කියවමි
හිනා එන චිත්‍රපටි බලමින් ම නින්දට වැටෙමි
උදෑසන අවදි විය යුතු නැත
හුස්මක් නාල්ලපු කඩිමුඩි ද දැන් නැත
පැය ගණන් අලුතින් ම ගත් ඇඳුමින් සැරසෙමි
පාට පාට කොණ්ඩ කටු, මල් මැහූ සෙරෙප්පු, සපත්තු
කරේ එල්ලන, අතේ ගෙනියන බෑග් ගලපමි
ප්‍රවාහන පහසුකම් නැත
අටේ බසයට හනික ඇවිදිමි

එහෙත් දවසේ හැම විට පෙනේ මට
ඔබ මා මත තැබූ සලකුණු
ඒ හැම සලකුණකටම
කතන්දරයක් ඇත
ඔබත් සමහර විට
මතක් කරනවා ඇත විටින් විට
මා ඔබ මත තැබූ සලකුණු

Picture - Christina Nguyen, American, born 1977, Romantic Twilight

අද රජයේ නිවාඩු දවසක්



ඔබලා නිවසේ සතුටු සාමීචියේ පසුවන
දියබුං ගසනු වස් දියකඩ සොයා යන
සන්ධ්‍යා ගමන් යන්නට සැරසෙන
අද රජයේ නිවාඩු දවසක්

කාර්යාලයේ අසුනට ව අකර්මණ්‍ය ව
සන්ධ්‍යා ගමන් කොයි වගේදැයි හිතන
අම්මාගේ වඩේ සුවඳට ඉව වැටෙන
අධිශීත කාමරයට නොඑන හිරු එළිය
දිය මත නටන යුරු දකින
අද රජයේ නිවාඩු දවසක්

Picture - Harald Slott-Møller, Danish, 1864-1937, Nordic Thoughts

ආයෙත් එනව නම් ඔබ



කඩල ගොට්ටක් බෙදාගෙන
කවට බස් කියෝ කියො
උරට උර තියාගෙන
ආයෙත් එනව නම් ඔබ
බසයේ කවුළුව අයිනට

අර අන්න ඉර ගිනි ගන්නවා වගේ සාතන්
කෙම්මුරක් දින සන්හිඳේ රතට රත වගෙ පහන්
මීදුම් පාත් වුණු කඳු ආයිත්තම් කළා වගෙ අර බලන්
ඒ වගේ වේලයක් ඇති ඔබේ අත ගන්න දවසට මං

එච්චරක් දේ කියන්
ටික දුරක් යනකොටම මා උරේ නිදි කරන්
හරිහමන් දෙයක් නොකියම අන්තිමට
ඔබ ගිය තැනක් මට කියන්!

Picture - Alice Pike Barney, American, 1857 – 1931, Dreamland

ඉරිතැලී ගිය වාලුකා



විඳින්නට නොලැබුණාවද
වැසි බිඳක් එපා කීවද
අහස රත දැක රැවටුණාවද
ඉරිතැලී ගිය වාලුකා

නිසි කලක් හෙව්වද
හිතින් අත් ඇරියද
ළදල්ලත් බැම්මකැයි හිතුවද
ඉරිතැලී ගිය වාලුකා

Picture Source - spacecollective.org/collectivematt/

වරදකාරිය මමද ස්වාමීනි



සිය දිවි නසා ගැනීමට රේල් පාර අසලට පැමිණි කාන්තාවක් අත්අඩංගුවට ගනී. සැමියාගේ දෙමාපියන් දෙන දුක් කරදර ඉවසාගත නොහැකි ව දිවි නසා ගැනීමට පැමිණි බව ඇය අධිකරණයේදී පවසයි.

- පුවතක්

මගේ හිත තැලු ඔවුන්
එය නොතකා හිටි සැමියා
නිවැරදිකරුවන් ව
වරදකාරිය මමද
ස්වාමීනි

විසි හතර පෑ වැඩමුරේ නොහිටියොත්
නොරුස්නාවෙන් බලන
විඩා වී මා නිදන තැන දී
රළු ඝෝර හඬ නඟන
හඬ නඟා අතු ගාන
මහ හඬින් පුටු අදින

කඳුළු අමුණන ලූණු පෙත්තක්
කපන්නට හැකි විණිද මා රිසි 'යුරින්
හීනියට කපන කොට රවුම් කොට කපනු
රවුමට කපන කොට කොටු කොටු කපනු
මා නොකළ විදි ම නිතර අණ කරන
ඔවුන් නිවැරදිකරුවන් ව
මා වරදකාරියද
ස්වාමීනි

මහගෙදර ගමනත් තහංචියි
වැඩිපුර කෑම කෑවත් නොරොක් වෙයි
ඉරට කලියෙන් නැගිට ගනු බැරි වුණොත්
ගෙදර ම මූසලයි කියයි
ලෙඩ දුකක් වුණු දිනෙත් අලුයමින්
හද උලා ගිනි ගලේ
ගිනි ඇවිලුවා මං ස්වාමීනී

දහවලට වැඩ පොළේ හුස්ම නැතුවම වැඩ
මැස්මක් වැරදුණොත් නැඟෙන තරමක් ගොර හඬ
ගෙදර ආ විටත් එක ලෙසින්මයි දිවි වියුණෙ මැතිසඳ
ආදරෙත් පලා ගොස් තිබුණා දුක් ගැහැට මැද

මාසෙ ගැටගහගත්තෙ පුදුම වැර වීරියෙන්
මහ ගෙයිම නැවතුණේ ජීවිතේ බර හෙයින්
මුදුන් ලීයක හීනෙ වේයො කෑවා ඉතින්
ලයිට් නැතුවම ගෙදර හිටියෙ අපි කළුවරින්

කලා සොළසක් සොයන්
තුටු හදින් බලාපොරොත්තුව අරන්
දීග ආවත් මං ස්වාමීනී
කැණි මඬල ඇවිලිලා
හද ම ගිනිබත් වුණා

එ ගිනි නිවනා මඟ හොයන්
දුම්රිය මඟට ආ මං
වරදකාරියද
ස්වාමීනී . . .

Picture - Posted by timothy sullivan, http://tcsuliv.aminus3.com/image/2009-04-29.html

Tuesday, February 25, 2014

කුරුබිලිද නගර ද්වාරය දෙව්විමන් හමුවනු නොහී



චිත්‍රපටිවල ඉන්න මිනිසුන්
ඇත්තක් වෙන්න පුළුවන්ද
සැක හිතෙනවා මට
ජීවිතේ එක ම විදිහට ගෙවෙන කොට

මල් පාරවල් වෙනුවට
පිළී ගඳ කුණු කාණු මුණ ගැසේ
කුරුබිලිද නගර ද්වාරය
දෙව්විමන් හමුවනු නොහී

සා මඬුලු පිස එන සිහිල් සුළඟක් නො ඒ
ජීවිතය දියවුණු ඌෂ්ණ සුස්මක් වේ
පල මතෙහි සුපුෂ්පිත විහඟ කුසුමන් කොහී
වැහි නොවැටෙන බිමක බර අදින ගැල් මිස සකී

Picture - Myosotis
Picture Source - http://naldzgraphics.net

විඩා නැඟි හංසයිනි නැඟිටිනුව



ගිලී යනු මිස නිමල දිය දහර
කුමකටද දුකට පණ හළ අකුර
විඩා නැඟි හංසයිනි නැඟිටිනුව
තටු මොටද පියඹන්න නිල අහස

විස හලා හල කිරුළු මොට හිසට
අත හරින කල බැමින් බැඳි සිරුර
නිවී නොසැලෙන සිතින බව සසර
තැනෙක නැවතී ලබනු මිස සුවය

Picture - Alastair Muir
Picture Source - http://www.telegraph.co.uk/culture/theatre/dance/10121261/Swan-Lake-Royal-Albert-Hall-review.html

දෙවොන්දරා සං මං නොරිකො සං නොවේ



කල් දම දමා සිටියද
යන්ට යන ගමන් අත් හැර
දෙවොන්දරා සං මම
නොරිකො සං නොවේ

ජීවිතේ පැමිණි දුක්කඳ
ගොඩ ගසා දියබත් කරන කොපුල් ඉවුරත
තබා හාදුවක් මා සනසන්න
බැරි නම් ඔබට
දෙවොන්දරා සං මම
නොරිකො සං නොවේ

උන් හිටි තැන් අහිමි ව
කබුකි නාටකයක
ශෝක ආලාපයක් වගේ
හද ගැහෙනකොට
ජීවිතය ගෙන අතට තනා දෙන්නට
නොහැකි නම් යම් පමණකට
දෙවොන්දරා සං මම
නොරිකො සං නොවේ

සකුරා මලක සුවඳැති බලාපොරොත්තු අත හැර
නකජිමා සොහොනට මා ඇරලවන්න
අත අත නෑර හැකි නම් ඔබ එන්න
බලාපොරොත්තුවක් නොදැල්වුණු ජීවිතේ
මරණයේ බලාපොරොත්තුව දල්වන්න

Picture - http://www.michaelyamashita.com/blog/wp-content/uploads/CherryBlossomsEdited-6.jpg

මඳක් ඉවසුවහොත්


කුණාටුවෙන් පසු විසිර යයි වලාකුළු
සුන්බුන් මතින් නැඟෙයි නව ලෝකය

Picture - Edward Seago, British, 1910 - 1974

පාට විසිරුණු කැටපත



තැන තැන පාට විසිරුණු
කැටපතක් වන කල්හි විල දිය
නිසංසල වුවද අහසට
දැක ගත නොහැක සිය රුව

Picture - Claude Monet, French, 1840 - 1926, "Water Garden at Giverny"

නිම කරනු පිණිස සිය සේවය



හිරු නැඟෙනු පෙරාතුව
නිම කරනු පිණිස සිය සේවය
හනි හනික තණ බිසි මත
දැල් වියයි තුහින

Picture - Frank Carmichael, Canadian, Member of The Group of Seven, 1890 - 1945, "The Hilltop"

රජයේ රෝහලක මව නවතා පැමිණීම



කාර්යාල අසුනේ හිඳ සිටියද
නොපෙනෙන තැතිගැනීමකි මා වෙළා ගත්
ඝාතකාගාරයක නවතා ආ පරිද්දෙන්
මා පෙළන්නේ ඇයි දැන් දැන්
විනාශකාරී ඇමතුමක් ගෙන එයිද
අකලට හද තැනි බිම් පවා
ඔසවා බිම දමන කිසිවක්
රජයේ රෝහලක මව නවතා පැමිණීම
අහෝ මා මෙතරම් පෙළන්නේ ඇයි

වරදවා ඔවුහු විදිත්ද වැරදි බෙහෙතක්
නොරුස්නා හැසිරීම බිඳවයිද හද මුදු තත්
නොකරත්ද ඔවුහු කළ යුතු පිළියමක්
හිනැහෙමින් සිටිත්ද දැක දැක ලෙඩෙකුගෙ දුකක්

අහෝ මා විශ්වාස කරන්නේ කෙසේද
මැරී මැරී ගැහෙන හදක
ගැස්ම නොහඳුනන මිනිසුන්
අහෝ හදවත් නොමැති මිනිසුන්!!

Picture - Antonello da Messina, Italian,1430 - 1479

(ප.ලි. - මෙම කවිය පුද්ගලික රෝහල් හොඳ බව පවසන්නක් නොවන බව සලකන්න.)

Monday, February 24, 2014

ආදරය යනු කවරක්ද?


ආදරය යනු කවරක්ද
ජීවිතයෙන් බැහැර ව ඇති යමක්ද
දුකෙහි ගණකම වැඩි තැන්හි මිදී
ප්‍රීතිමත් තැන්හි හා වන
අහෝ ආදරය එවන් නම්
කොතරම් වැදගත්ද අප පෙළන දුක

Picture - Danielle Richard, Canadian, http://daniellerichard.com

පුස්තකාල සඳහා පොත් මිල දී ගැනීම


ඔබත් අකරුණාවන්ත මිනිසෙක්ද?


මිනිස්සු කිසි ම කෙනෙකුට සවන් දෙන් නෑ.. සවන් දීමෙන් ඔවුන් කියන දේ තේරුම් ගන්න උත්සාහ කරන් නෑ කියන එක හරි ම පුදුම දෙයක්.. හැම තරාතිරමක ම මේ වගේ මිනිස්සු.. කියා නිම කරන්නත් කලින් උත්තර දෙන්නත් ප්‍රතිචාර දක්වන්නත් දඟලන මිනිස්සු.. "මිනිස්සු ඉන්නෙ හරි ම පීඩනයෙන්.. ඒකයි ඒ අකාරුණිකකම් කරන්නෙ.." කියල අයෙක් කියන්න පුළුවන්..

ඒත්, මං ඒක පිළිගන්න කැමති නෑ..

ඒක පීඩනයට වඩා ඔබ්බට ගිය දෙයක්.. කරුණාවන්තකම පුරුදු පුහුණු කරල නැති කම.. එහෙම නැත්තං පීඩනය කියන දෙයින් තම තමන්ගේ හදවත් ශෝකයෙන් බර වෙනවා.. තමන්ට සිදු වුණු දුක්ඛදායී සහ අකටයුතුකම් සිහි ව පීඩනයක් දැනෙනවා.. කීවොත්.. ඒ පීඩනයෙන් කෙනෙක් තේරුම් ගන්නේ මිනිසෙකුට ඇති විය හැකි වේදනාව ම නේද? ඒ වේදනාව තමනුත් අනිත් අයට දෙන්නේ පීඩනයට වඩා අකරුණාවන්තකම නිසා නේද?
පහුගිය සතියෙදි අම්මාව පොඩි ශල්‍යකර්මයකට රජයේ රෝහලක නැවැත්තුවා. කලින් වතාවකුත් නැවතිලා හිටියට ........ වැඩි වීම නිසා ශල්‍යකර්මය කරන්න බෑ කියල දොස්තරවරු තීරණය කරා.. මට නිවාඩුවක් ගන්න අමාරු වුණු නිසා මගේ ඥාතියෙක් තමයි අම්මාව රෝහලේ නවත්වන්න එක්කන් ගියේ.

"කලින් වතාවෙ ඔපරේෂන් එක කල් දැම්මා.." හෙදියක් අහපු ප්‍රශ්නයකට උත්තර දෙමින් මගේ ඥාතිවරිය උත්තර දුන්නා.. "දැන් ඔය කියන්න එන්නෙ අපේ වැරද්දෙන් කල් දැම්මා කියලද?.." හෙදිය ඉන් එහා කිසි ම සිහියක් නැති ව බැන ගෙන ගියා.. අප පවුලේ ඥාති සහෝදරියක් අසල වාට්ටුවක සේවය කළා.. අම්මාට බැන්න බව දැන ගත් ඇය එහි පැමිණි විට වාට්ටුව භාර සිස්ටර් " .......... මිස් නැත්තං අපි මේක කරන්නෙත් නෑ.." තවත් මහා හයියෙන් කෑගහන්න පටන් අරන් තිබුණා.. මේ බැනුම අහන්න බැරි තැන මගේ ඥාතිවරිය මට දුරකථනයෙන් කතා කර.. "අම්මා ව ඩිස්චාර්ජ් කරගෙන එන්න ද" කියා මගෙන් ඇහුවා..

මට ඇති වූ කෝපය පාලනය කරගන්නට බැරි තරං.. පුදුම වැඩක්නෙ.. රජයේ රෝහලේ අයිතිකාරයන් සාමාන්‍ය මිනිස්සු මිසක් මේ නර්ස් නෝනලයි සිස්ටර්ලයි කට්ටියද.. මම හිතුවා.. කාටද මේක කම්ප්ලේන් කරන්නෙ..මම හිතුවා..

අපේ නැන්දාකෙනෙක් රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉන්න බව දැන ගෙන හිටියත් මට කම්ප්ලේන් කරන්න ඕනෑ වුණේ ඊටත් ඉහළ තැනකටයි.. "ඒත් මම නැන්දාට කතා කර, අම්මා ව ඩිස්චාර්ජ් කරගෙන එන්නදැ" යි ඇහුවා.. "ඔහොම ඉන්න.. මම බලන්නම්" ඇය කියූ නිසා මම නිශ්ශබ්ද වුණා..

ඈ හවස රෝහලට ගොස් එහි මේට්‍රන් සමඟ වාට්ටුවට ගිහින් තිබුණා. ඒ සාමාන්‍ය ලෙඩෙක් බලන්න යන විදිහටමයි.. ඒ දෙන්නා දැකපු ගමන් වාට්ටුවේ අනිත් අය මොකද කියල කලබල වෙලා..

"නෑ මේ අපේ ලෙඩෙක් බලන්න.." නැන්දයි මේට්‍රනුයි දෙන්නා අම්මා ළඟට ගිහින්.. දැන් සිස්ටර්ත් ඒ පස්සෙලු.

නැන්දලා ගිහින් වෙලාවකට පස්සෙ සිස්ටර් අම්මාව කාමරයකට එක්කන් ගියාලු.. "මගේ හස්බන්ඩ් මාව දාල ගිහින්.. ළමයි දෙන්න හදාගන්නෙ මං තනියෙන්.. ........... මට හරියට කේන්ති යනවා මේවත් එක්ක" කියලා මහා අඳෝනාවක් අම්මාට කිව්වලු.. "මම එයාව දන්නෙවත් නෑනේ.. ඒ මොකද එයා මට එයාගේ පුද්ගලික විස්තර කිව්වේ.." කියා මේ නාටකය නොතේරුණු අම්මා මගෙන් ඇහුවා..

ඒක හරියට නාට්‍යයක් වගේ නේද..? එක අතකට ඒ නිරූපණය වෙන්නේ අපේ රටේ මුළු මහත් සමාජෙම හැටි නේද? තමන් වටා තමයි හැමදේම කේන්ද්‍රගත වෙලා තියෙන්නේ.. තමන්ට වාසි/අවාසි වෙන්නේ කොහොමද කියන සලකා බැලීම මතයි අනෙක් දේවල් තීරණය වෙන්නේ.. පොදු ජනයායි පොඩි පොඩි මිනිස්සුයි මෙහෙම වෙනකොට ඒකේ මුළු මහත් වාසිය ම ගන්නේ ලොක්කොයි.. ඡන්දෙ දෙනකොට වුණත් මිනිස්සු සලකලා බලන්නේ තමන් ම නේද?

ඒ සිද්ධියෙන් පස්සෙ අම්මාට සිස්ටර්යි එතැන හිටි අනෙක් අයයි බැන්නේ නැති වුණාට ඒ සිද්ධිය නොදත් අනිත් අය ඒ අයගෙ පොඩි පොඩි බැනීම් ඒ ආකාරයෙන් ම කරගෙන ගියා.. අනිත් ලෙඩ්ඩුන්ටත් එහෙමයි.. "හිනා වෙලාවත් ඉන්න දන් නෑනේ.." කෙනෙක් තවත් ලෙඩෙකුට බැන්නේ ඒක තමන්ට ම දෙන්න ඕනෑ උපදේශය බව අමතක වෙලා වෙන්න ඇති.

කොහොම නමුත්, ඒක අහගෙන හිටිය තවත් ලෙඩෙක් "හිනාවෙන්නෙ හිනා නොවී බැරි කමට" කියනවා අහගෙන හිටිය මටත් කට කොණකට පුංචි හිනාවක් නැඟුණා..

රෝහලේ අම්ම ළඟ හිටි දවස් ටිකේ ම වාට්ටුව වටේ ඇහුණ බැනුම් වල කෙළවරක් නෑ.. නොරුස්නා ස්වභාවයෙන් මිසක් සංවේදීතාවෙන්, සහකම්පනයෙන් කතා කල එක්කෙනෙක්වත් හිටියාද මන්දා.. නිල ඇඳුම් පහක විතර කට්ටිය රෝහලේ ඉන්නවා.. ක්ලීනින් සර්විස් එකේ ඉඳන් වැඩි දෙනා කට ඇරියොත් කතා කරන්නෙ නොරුස්නා ගතියෙන්, අප්‍රියජනක වචනයෙන්.. "මේ පුටුව ගන්ඩකෝ.." ක්ලීනින් සර්විස් එකේ මහත්මියකුත් මට කෑ ගැහුවා.. ඒ හැම එකට ම ප්‍රතිචාර දක්වන්න කේන්තියක් හා කලකිරීමක් හිත තුළ තිබුණත් හිත මහා ගැඹුරු තුවාලයක් වගේ දෙයක් වුණත් මේ මිනිස්සු මොන තරං පහත්ද කියන සිතිවිල්ල නිසා මම කිසිම ප්‍රතිචාරයක් දැක්කුවේ නෑ..

ලෙඩෙක් රෝහලට එන්නේ හරි ම අසරණකමකින්.. අවවාදයක් දුන්නත් ඒ කිසි ම ලෙඩෙකුට බනින්න මේ රජයේ සේවකයින්ට අයිතියක් නෑ කියලයි මම හිතන්නේ.. ක්රූර වද හිංසාවෙන් ගැලවී සිටීමට රෝගින්ගේ මූලික අයිතිවාසිකමක්. ක්රූර වද හිංසාවට මානසික පීඩනයත් අයිතියි..

අම්මාට කළේ මහා බරපතල ශල්‍යකර්මයක් නොවුණත් ශල්‍යකර්මයෙන් පසු ව බැලිය යුතු පරීක්ෂා කිරීමක් නැවත විශේෂඥ වෛද්‍යතුමා එන තුරු ම කිරීම අතපසු වීමෙන් ඈ ජීවිතෙන් ගොඩ ආවෙ අනූනවයෙන්.. දවස් කීපයක් අයි සී යූ එකේත් ඉන්න සිද්ධ වුණා.. ඈ තවමත් රෝහලේ.. මං මවිත වෙන්නේ ටිකට් කපාගෙන රෝහලෙන් එන්න කලින් තවත් මොනවා හරි නොවුණොත් විතරයි.

රෝහලට එන කවර තරාතිරමක මිනිහෙක්ට වුණත් ආදරයෙන් වචනයක් දෙකක් කතා කරන්න බැරි නම් සැර පරුෂ වචන නොකියා ඉන්න මේ මිනිසුන්ට බැරි ඇයි..? තත්ත්වයට අමුතුවෙන් සලකන්නේ, බයවෙන්නේ තමන් රාජකාරී කරන විලාසය තමන් දන්නා නිසා නොවෙයිද? අම්මාව මේ වචනවලින් බේරගන්න බැරි ව මා කොතරම් දුකක් වින්දාද? මෙය අනෙක් සියලු මිනිසුන්ටත් පොදුයි නේද?
සරළ ලේ පරීක්ෂණයක් පවා පෞද්ගලික වෛද්‍ය ආයතනවලින් කරගෙන එන්න කියන කොට, දුප්පත් මිනිහෙක් එහෙම කරන්නෙ කොහොමද කියා හිතන්න හිතක් පපුවක් මේ අයට නැත්තෙ ඇයි?

වනයක ගමන් ගන්නා කල
කොටියෙක් මුණ ගැසුණොතින්
කරුණාවන්තකමින් හිනා වී
පෙරළා සිනහවක් පැතීමත්
අඥානකමෙක්මැයි..

පෑරුණු තුවාලයක්
යළි යළිත් පාරා සිනාවෙන දනන් මුව
කඳුළක් සැලීමත් එසේමයි

කණ කටුක වදනින්
අප්‍රාණික ව යන විට ගත සිත
සසරක බියකරු බවින්
මගේ අත් පා පවා ගිලන් වෙයි

"දරුවා" යි ඉතා ඉමිහිරි හඬකින්
එවන් විට හිත තනන
වන පෙතක් මට අඬගසයි

ගිහියෙක් ව මියැදෙන
අවසන් භවය මෙය වන්නැයි
එවන් විට මා හද පතයි

Picture - Hector Garrido, Forest in southern Spain

Sunday, February 23, 2014

විදුලියක් වගේ වේදනාවක්

Brent Heighton - After Hours

වැඩ ඇරී ගෙදර යන
අන්තිම බසෙත් එන තුරු ඉස්සර
ඔබ ඔට්ටු අල්ලමින් කතා කර කර
හිනැහුණා ඇත්තයි
ඒත් ඒ විදිහට දුක කියා
කුරුල්ලා තනි කර නැවතුමෙම
අත්තටු ගෙන ගියා ඇත්තයි

ජීවිතේ දැන් මිහිරි ඇති ඔබෙ නම්
ඔබ කියා ගිය විදිහට නම්
දුර ගමනකට ඉඩක් නැති හිතින්
කෙස් එක දෙකත් සුදු ව ගිය හිසින්
තව ම සවසට පරණ බස් නැවතුමේ මං

___________________________________

මං ඔයාට කිව්වා ඒ දවස්වලම
ආදරේ විතරක් ඇතිද ජීවත් වෙන්න
ඔයාට වෙලාවක් තිබුණෙ නෑ
හර-බැර ශේෂ පත්‍ර හැර එන්න

මුහුද අයිනට වෙලා රස කතා කිය කියා
රෝස පාට පලූඩාවක් බොන්න
මං කී දොහක් බලා උන්නද
ඔබේ හිත ඔෆිසියෙන් මුදෝ ගන්න

වරු ගණන් බලන් ඉඳලා
ආපහු හැරී යන්නට හිතු වෙලේ
ඔබ ඇවිත් කිව්වා මතකයි
"ලෝයර් ඉල්ලනව ඔක්කොම ගණන් ටික සතේටම
වගකීම ගන්න බෑලු එයාට
සහතික කර නොදුන්නොත් බැලන්ස් ටික
ඉතිං මං එන්නෙ කොහොමද?"
බර සුසුමක් හෙලුවා ඔබ
එන්න බැරි නං බෑ කියන්න තිබ්බා මං කිව්වා

දැන් බොහොම සාරයි මට
සති අන්තෙ අපි යනව මුහුදු වෙරළට
පලූඩා වීදුරුවක් තොලගාන කොට
ඒත් බොඳ වෙලා පේනවා ඔබෙ රුව
සතියට දවස් හය හත
ඔබ වැඩ කරනවා ඇති අට - හත
විදුලියක් වගේ වේදනාවක්
ඇති වෙලා නැති වෙලා යනව එක පාරට

Picture - Brent Heighton, American, After Hours

රෝහල් මැඳුරු කවුළුවකින්



කණ කටුක වදන් සපිරුණ
රෝහල් මැඳුරු කවුළුවකින් බැලු විට
බැස යන හිරු අකාසය මත ඇතිරූ
සාදලිංගම් රතු පැහැය දිටිමි

"විජ්ජාවක් කරන්න යනවද බට එක්ක.."
නොදැනුවත් ව ම ලිහිල් වූ ලේ බැහැර යන බටයකට
නර්ස් නෝනා කෙනෙක් මොර දෙයි
උස් හඬට දියාරු ව වාට්ටුව සිහින් ඉකියක් වෙයි
එවන් තැන්වලටත් උස් කඳු මුදුන සිට
පෑළදිග ඉරු හිනැහෙයි

ඉර ස්තූතියි ඔබට
මිනිසෙකුට ගෙන ආ නොහැකි සතුට අරගෙන
ඈතින් අත වනනවට

Picture - Fog in the evening, Herastrau Park, Bucharest, Romania Herastrau Park, Bucharest by Cristian Vasile

අලුත් වූ ඉරක් පායයි



ගිලන් බිම රාත්‍රිය
බිළිඳු හැඬුමකින් ඇහැරෙයි
රබර් වතු ඉස්මත්ත අහසේ
රෝස පැහැයක් තැවරෙයි

තාවර ව උන් වේදනා රැළි
පෑදි බැල්මකින් නිම වෙයි
හද පුරා උතුරාන සැනසුම
නව සඳක් අහසට එයි

හුස්මකට පවා ගැස්සුණ
අයිසීයූ මරණීය සිහිනය
ගෙදර යෑමට සැරසෙන
රෙදි බෑගයෙන් නිම වෙයි

තව නොබෝ පැයකින්
අලුත් දවසක් අරන්
අලුත් වූ ඉරක් පායයි

Picture - by Michael Sheridan, A Cormorant Fisherman at sunset on the Li River near Xing Ping, Guangxi Province – Southern China.

Thursday, February 20, 2014

වලා පළඳනා හිස පළදා



වලා පළඳනා හිස පළදා
තුරු යුවතියෝ
එබී බලත්
දිය කැඩපතට

Picture - Mitchell's Lake, New Zealand
Picture Owner - Unknown

ගීත රචනයෙන් කලා කෙත අස්වැද්දූ ඇලෝයි ගුණවර්ධන අද අසරණයි












News - http://www.dinamina.lk/epaper/art.asp?id=2014/02/20/pg16_1&pt=p&h=



පරණ සටහනක්

http://www.divaina.com/2011/12/30/cineart04.html

ප්‍රවීන ගීත රචක ඇලෝයි ගුණවර්ධන අසාධ්‍යව රෝහලේ

60' 70' දශකයන් එකලු කළ සිංහල සරළ ගීතය පිළිබඳ මතකය දශක පහක්‌ ගෙවී ගියද අදටත් එකසේ පවතී. අසාහාය ගායක එච්.ආර්. ජෝතිපාල, ඡේ. ඒ. මිල්ටන් පෙරේරා බඳු ගායකයන් ඒ සරළ යුගය සිය හඬ මාධූර්යයෙන් ඔපවත් කරද්දී පද මාධූර්යයෙන් ඊට ඔදවත් මෙහෙවරක්‌ කළ ගීත රචකයන් වූයේ අතැඟිලි පමණකටය. ඇලෝයි ගුණවර්ධන එබඳු ගීත රචකයෙකි.

ඇස්‌ දෙක වාගෙ හිටිය, පණ වාගේ හිටියාට, මා ලද ජීවිතයේ, පායා ඇයි හිනැහෙන්නේ, රඟපාන ඔබ කවුද සුකුමාලියේ, සුවඳයි මුවේ මල් පැණි, රත්තරං කූඩුවේ ඉන්න රන් කිරිල්ලියේ, අහන්න මගෙ හොඳ පුංචි පුතේ, උපන්දා සිට කරපු පව් නැත, සිංහල ඉතිහාස පොතේ, පිළිගන්න මම ඡන්න ඇමැති වෙමි වැනි අදටත් ජනප්‍රිය ගීත රැසක්‌ ඇලෝයි ගුණවර්ධන රචනා කළ බව නොදන්නෝ සේම දැන දැනත් නොදන්නා සේ සිටින්නෝද බොහෝමය.

79 වියෑති ඇලෝයි ගුණවර්ධනයන් මේ වනවිට අසාධ්‍ය තත්ත්වයෙන් මුල්ලේරියාව දිසා රෝහලේ 8 වැනි වාට්‌ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියි.

රෝගී තත්ත්වයන් යටතේ සිටිමින් වුවද මුද්‍රණාලයක අකුරු අමුණන්නකු ලෙස කටයුතු කළ ගුණවර්ධන මහතා ඉතා දුක සේ දිවි ගෙවන්නෙකි. අදටත් ඔහුගේ ජනප්‍රිය ගී පදවැල්වලින් දිවි සරිකර ගන්නා ප්‍රවීන මෙන්ම ආධුනික කලාකරුවෝ අපමණ වෙති. ඔහුගේ දායකත්වය ඇතිව නිමැවුණු ගීතවලින් දහස්‌ ගණන් උපයන ගුවන්විදුලි, රූපවාහිනී නාලිකා අපමණය. ඔහු පබැ» ගීයත් ප්‍රචාරය වෙද්දී හෝ ඔහු අද සිටි තත්ත්වය පිළිබඳ රසිකයන් දැනුවත් කිරීමට එබඳු නාලිකාවලට ඉඩක්‌ වෙන් කළ නොහැකිද?

සිනේස්‌ටාර්, සිනේඔස්‌කාර් බඳු කලාකරුවන්ගේ එකමුතුවලට මෙබඳු කලාකරුවකු වෙනුවෙන් යම් මෙහෙවරක්‌ කළ නොහැකිද?

'දිවයින සිනමා කලා' මේ සටහන එබඳු පාර්ශ්වයන්ගේ අවදානය පිණිසය!


Wednesday, February 19, 2014

හදිසියේ ඇද වැටුණු මහ වැස්ස



හදිසියේ ඇද වැටුණු
මහ වැස්සෙන් පසු ව
නුගේගොඩ නිස්සද්ද විය

වැස්සක් වැටෙන තුරු මඟ බලා උන්
තුරු අගිසි වල
කහ පැහැති පත්
වැසි සුළඟෙහි පාව ගොස්
මහ පාරට වැටිණ

ඉනික්බිති නැවුම් අවු රැල්ලකින් විකසිත ව
සවුසිරිය ඉහළින්
අයිස්ක්‍රීමයක් අතැති
කුඩා දේදුන්නක් පා විය

Picture - by Tambako the Jaguar
Source - http://www.flickr.com/photos/tambako/5388278541/sizes/l/in/photostream/

අරුමයකි



මවන රළ සිනහවක්
දුටු දුටු දන මුවෙහි
වරදක් ය සිතන ලොවක
ඉපදුමත් අරුමයකි

කරුමයකි

Picture Owner - Unknown, Sheared Alpacas

උණුසුම් කරනු මැන සිහිල් සිතුවිලි



වැලි තලාවේ වැතිර ගමි
දිදුලන කොළ පැහැය නොකලඹමි
කුඩා වැලි මිණි
උණුසුම් කරනු මැන සිහිල් සිතුවිලි

Picture - Lencois Maranhenses National Park in Brazil
Photographer Unknown

කොහුවල හන්දිය



කොහුවල හන්දිය
වැඩට යන-එන දන වෙත
හෘද කම්පන ගෙන එන
ගිමන් නිවනට මෙන්
ගමන් රථ නවතින
එක වරක් නිම වුණු පසු
නැවත වරකුත් ළතවෙන

ඔර්ලෝසු කටු වේගයෙන් කැරකෙන
උණුසුම් සුසුම් දහදියෙන් කැලතෙන
නිවෙන දැල්වෙන ලාම්පු එළි
පසු කර පැමිණි බස් රථය
ඊළඟ නැවතුමේ
බරාස් ගා නවතින

නැවත පණගන්ට බැරි මෙන්
කෑ ගසා හති ලන
විසංඥ වන්නට ආසන්න මෙන්
වැනි වැනී ඉන් පසු යන
ඇඟිලි සලකුණු යන්ත්‍රය ළඟ
ලේ ගලන හදවත් නවතින

Picture - Graham McPherson, Starlings in Scotland, Isle of Skye

පිට්ස්බර්ග්හි හිමමය දවසක



පිට්ස්බර්ග්හි හිමමය දවසක
කුමක්ද සිදු විය නොහැක්කේ
ලාවා මෙන් උණුසුම් ව නිවී යන
තාරකා පැහැරගෙන
හමා ආ හැකිය හුස්මලන කුණාටුවක්
ඔව්, කුණාටුවක්

Picture Source - fubiz.net/2013/10/24/landscape-photographer-of-the-year-2013/
Picture Owner - Unknown

Where o where??



මීදුම් කොරිඩෝරයෙහි
වැතිර ඇත
සරත් සමයෙහි ගිලිහි
තුරු පත්

කෝ කොහිද මා ගෙන යන්නේ
වියළි පත් පලසින්
ඉස ඔසවා
විමසයි කුඩා තුරුපතක්

Picture - Bart Deburgh

රඟා නළවනු මැන මහද



පෙම්වත හබල ගෙන අතට
රැගෙන යනු මා සුර පුරට
නිල දිය රඟන රැළි රැඟුම
රඟා නළවනු මැන මහද

ගල ගලා යන දිය අතර
හල හලා සායම් වතුර
තෙමා පෙම් කැටපත් පවුර
හිනා වෙනු දැක ඉම ඉවුර

Picture Owner - Unknown
Picture Source - Green Renaissance

ඇහි පියන් උගුලා ඇත



බඩු මුට්ටු දමා සිර කළ
කබඩයක් වගේ මගෙ හිත
සාන්තුවරයෙක් වේද ලොව යම් තැනක
මෙ'විපතින් මා මුදවාලන

නඩු අංක පැමිණ පිටතට
රූරා වැටේ රාක්ක පහළට
හතළිස් පන් දහස් අටසිය හැත්තෑවක්
චෙක්පත් අංක බිල්පත් හා එන්තරවාසි

තැලී පොඩි වුණු කතන්දර
පොත්වලට යටවෙලා ඇත
තුනපහ බෝතලය හිස්
සුප් එකක බඩු නැත

ඇහි බැමෙහි එල්ලිලා
කොනිත්තන මතක තුඩු
නිදාගත්තත් රැයෙහි
ඇහි පියන් උගුලා ඇත

Picture Owner - Unknown
Picture Source - Green Renaissance
Nature's Church - Cathedral Cliffs, Kauai Hawaii.

ලැසි ලැසි ගමනින් යන්නී - බස බස ගාල බනින්නී



”සිනා නගන්නී - ලැසි ලැසි ගමනින් යන්නී - ඔමරි කරන්නී - ඇඳ වට කැරකී යන්නී ..."


අහෝ ගීත රචකය
අර්ධ හෝ ඊටත් වැඩි
නිද්‍රාවකින් පසු වීද ඔබ
ලියන විට මේ
යුරින්
එසේත් නැතිනම් ක්ෂණික උමතුභාවයකින් පෙළුණිද

රජයේ ඉස්පිරිතාලෙකට
ගිය කිසි දිනෙක
නොදුටුවෙමි මම එවැනි කිසිවෙක්

රවා බලන්නී
බස බස ගාල බනින්නී
මිට මොලවන්නී අත
කෝපයෙන් වනන්නී

සැරයටිය අතින් දරා
කුදුව ආ මහලු කතක්
වෙව්ලමින් අසනු දුටුවෙමි
"තුවාල වාට්ටුව කොහිදැයි"
"එහෙම වාට්ටු මෙහෙ නෑ"
ඔරවා බලා ගත්තීය අහක

සයිකලයකින් වට
ගැහැණු දරුවෙක්
ගෙන ආ විට රෝහලට
"රෝන්දෙ ගිහින් එන්ඩ ඇති මෙතැන.."
තරුණ නර්ස් නෝනෙක්
මිමිණුවා ඇසිණි
අනෙක් නර්ස් නෝනාගේ කණට

තිබෙන බෙහෙතක් වුණත්
අතින් දෙනවාක් මෙන් මැලි ව
යවයි දුප්පත් අම්මලා ද
වෙළඳසලකින් රැගෙන එනු පිණිස ඔසු
"ඇයි මේ ටෙස්ට් පිටින් කරගෙන ආවෙ නැත්තෙ
එනවා අපට ම වද දෙන්න"
එකම ගෝර නාඩුවයි

හිසරදයට බෙහෙත් සොයා ගිය දවසක
කටත් නාසයත් වැසෙන්නට
අට මගලක් අටවා
"ගාමන්ට් කෙල්ලෙක් වෙන්ඩ ඇති"
කතා වූහ ඔවුහු
වචන පිට කර ගත නොහැකිව
මියගියෙමි මම

එක වරක් නෙමේ
සිය වරක් මැරෙනවා මම
අත්අඩංගුවට ගන්නවා නම්
කරුණාවන්තකමක ක්ෂුද්‍ර මාත්‍රයක් නොදත්
මේ නර්ස්, ඇඩෙන්ටන්ඩ් නෝනලා බුරුත්ත

Picture - bestclipartblog.com/23-nurse-clip-art.html/nurse-clip-art-12

Tuesday, February 18, 2014

DIPLOMA IN FORENSIC MEDICINE & SCIENCE COURSE 2014


DEPARTMENT OF FORENSIC MEDICINE AND TOXICOLOGY

The course is open to practising lawyers and those who have a first degree in Law.
The duration of the course is one year (three terms) and there will be approximately 100 hours of instruction. Lectures, seminars, practical demonstrations and tutorials will be held on Saturdays
Course Fee: Rs. 50,000/= (May be paid in two installments of Rs. 35,000/= and 15,000/=)
Telephone : 0112-2695300- ext.148 / 011-2694016
E- mail : dipfms@gmail.com

Closing date of Application –28th February 2014

[News from Prof. Ravindra Fernando] [Picture Cortesy - http://irnustian.com/2011/08/forensic-medicine-time-for-serious-work/]

කුඩා වලාකුළක්



ඉඩෝරෙන් අඩදැණි ව
ඉරිතලා ගිය තැන
විසල් මහ පොළොව
සොයයි කුඩා වලාකුළක්

Picture - Gerhard Richter (German, Contemporary, b. February 9, 1932)

Public Domain හෙවත් පොදු රාජ්‍යය



දිය දහරක් ගලා ඇතිද යම් තැනෙක
කිසිදු උල්පතක් නැති ව ම
එනයින් ම මිත
කොනිති ගසන්නේ නැද්ද කිසිවක්
හදේ යම් තැනක් මොහොතකට
(කල් ඉකුත් වූ ප්‍රකාශන අයිතිය බව හැබැයි එනමුදු)
උල්පතෙහි නම අසිහි කොට
තමන්ගේ මෙන් පින්තූර පිටපත් කරන විට

Picture - Alex Colville (Canadian; Realism, Magic Realism; 1920 - 2013): Pacific 1967

විප්ලවය



පෙරළුෑ පසෙහි
බලාපොරොත්තුව පැළ වෙයි

Picture - Claude Monet (French, Impressionism, 1840-1926): Landscape at Giverny, 1887. Oil on canvas, 65 x 92 cm. Private Collection.

ෂිනොබෂු පොකුණ


ෂිනොබෂු පොකුණෙහි
රළ උස් පහත් වෙයි
තටු විදා ගත් පැගෝඩාවෙහි
උස් කොත දෙස බලමින්

යසුනරි, මෙහෙ එන්න
චෙරි මල් යට කිමිදෙන්න

Picture - Utagawa Hirokage*
*Utagawa Hirokage (歌川 広景?), also known as Ichiyusai Hirokage, was a Japanese designer of ukiyo-e woodblock prints, who was active from about 1855 to 1865. (http://en.wikipedia.org/wiki/Utagawa_Hirokage)

හැඟුම්



තැන තැන බබුළ
විදුලි පහන්
නිශා සිතිවිලි තුළ
ඔබ පිළිබඳ හැඟුම්

Picture - Shiro Kasamatsu (Japan, 1898-1991)

ගඟත් විය නිහඬ



රිදුම් ගෙන මිටට
විසි කරමි ගඟට
රළ නඟා මොහොතකට
ගඟත් විය නිහඬ

මුහුදු කොළ පාට
දිය සෙවල රෑට
දියමන්ති බැව් හිත හිතා
පිටුපායි සඳට

Picture - Very Rare Rainbow (Polar stratospheric) Clouds in Greenland.
Picture Source -
I Freaking Love Facts's Page

ආ ගිය අතක් නෑ



සේද වියන් සේද සාලු
දකින දකින වෙලේ
සේද වැඩපොළට ගිය දූ දරු සිහි වී
සිහි නැති වෙනවලු
පටපණු අම්මාගේ

පොලිස් පොතේ ලිව්වා
ආපහු නා බව කියා
ඉස්පෙක්ටර් මහත්තයත්
ගොස් බැලුවලු වැඩපොළටම
සේද රෙදි මිසක්
නෑ තිබුණේ කිසිවක්
හිත සනසා ගන්න කියා ලේ බිඳුවක්
ආ ගිය අතක් නෑ කියා ලිව්වා ඔවුන්

Picture - Patrick Palmer

බත්කූරු පියාපත්



බත්කූරු පියාපත් පාට
මං ආස පාට
බත්කූරු ගවුම්
ඉතා ලස්සන
කුඩා අත්වලින් ඔසොවාගෙන
කොළ පාට තණ පලස් මතින් ඇවිද යන්න
හරියට ඔස්කාර් සම්මාන ගත්තු
නාටිකාංගනාවක් වගේ

තණ පලස ඈත ඉම
රත් පාට ඉර
පරිපූර්ණත්වය ලැබ
ඒත් මොකටද
හුඟක් ඈතදිම
පියාපත් දවා හළුව
අවසන් අඩිය තැබෙන විට

Picture - dragonfly-site.com

බත්කූරු ආදිපාදවරියක්මි



ඉර එළිය උරා බොන
බත්කූරියක්මි
ඕනෑද ඔබට
මගේ සවන්පත්

Picture Courtesy - dragonflyhealing.wordpress.com

Summer Wind



ගිම්හානය
සන්ධ්‍යා අහස වෙත
විසිර යන මල්

මුහුදු රළ වැතිරෙයි
වියළි පත් මත

කාක්කෙක් දෙන්නෙක් ඉඳහිට
ඉගිල යයි අහසේ ඈත කොනකට

Picture -
by Teodora-Chinde
Picture Source - deviantart.com/morelikethis/265039359/digitalart/photomanip/landscapes?offset=20&view_mode=2

නවතා ගත නොහැකි සිනහව



උදේ සිට හවස් වන තුරු ම
චිත්‍රපටි බලන
"වැඩ වැඩි වැඩ වැඩි"
බොස් ළඟදි අඬන
රූමතියන්ට
නවතා ගත නොහැකිය
චිත්‍රපටි විහිළුවකට නැඟෙන සිනහව

Picture - Karol Bak