Friday, May 31, 2013

සරස වැස්ස වැහැලා



සරස වැස්ස වැහැලා
අර කවුළු පියන් හැර බලන්න පියසඳ
උදා සඳත් පිපිලා

නෝක්කාඩු කොහොමද කුමකටදැයි
තරුවක් ඉඟි මරලා
දුටුවද අහනා සඳ අඩ සිනහව
දෙඅදර මත තබලා

තෝඩු අරුංගල් නුබ මත අල්ලා
එක පෙළට ම තියලා
අහසත් ඉල්ලයි තෝරා ගනු මැන
සරිසි තිළිණ කියලා


pic. - Emilie Spring

Friday, May 24, 2013

හාද්දක් දෙන වැස්සක්

විස්ටාරියා මලකට
හාද්දක් දෙන වැස්සක්
මඳක් හිස ඇල කොට
'හා..හොඳයි, එන්න මෙහෙ
ආයෙමත් වැටෙන්නට'
හිනා වෙයි අහසත්


pic. - tumblr.com
 

වෙසක් සඳ

Hans Dieter, View Over Lake Constance

Dear Hans,

I love this painting..I feel that I am there..

වෙසක් සඳට සිනාවෙන
වෙසක් කූඩුවක රැළි අතර
කුඩා යුවතියක් මම


සඳ එළිය අතින් ගෙන
ඈත ගමනක් යන



Thursday, May 23, 2013

අවසන් කවිය



කවි වැස්සක් ව ඇද හැලෙමි
නෙස්කැෆේ මැසිමට පයින් ඇන
ටෙන්ට් එක සුන්බුන් කර
පෙට්ටියෙන් ඉහළට එසවෙමින්...

අහා! අර අහස
සුරඟනන් එහෙ මෙහෙ යන
නගරය දෙස නොබලා ම
කඳු අතර පාවෙමි
අයිරිස් මලක් අතින් ගමි
මුළු හදින් එය සිඹිමි
නිම්නයක වහන් වී
විස්ටාරියා මලකට හාද්දක් දෙමි
සකෙ බඳුනක් ගමි
එක හුස්මට ම බොමි



pic. - anyonewhogardens.com

ඕනෑ ය..

කැලයක්, කුඩා දිය කඩිත්තක් අසල
ලී ගෙදරක් ඕනෑය මට
ගෙයි ඉස්සරහ උස් ගසක
අත වනන ඔංචිල්ලාවක් ද සමඟ
ඔබ මිදුල කොනක වී
චිත්‍ර අඳින්නත්
මා අසල දැවෙටෙමින් කුරුටු ගාන්නත්
හවස් වරුවේ බැස යන ඉර දෙසට
ඔරු පදින්නත්
හදිසියේ ඇද වැටෙන වැස්සට තෙමෙන්නත්
සිනා වැස්සක අකුණක් ව නැඟෙන්නත්
හදිසියේ පතිත වන ඉරු රැස බැල්මක් ද කැටුව

ඉඳහිට මුහුදට පනින්නත්
කෝපි සුවඳත් සමඟ සින්දුවකට නටන්නත්
ඕනෑ ය~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~

දෙන්න මට ලී ගෙදරක්


කළු කබාය ගලවා දෙමි


දෙන්න මට ලී ගෙදරක්
කඳු බඳුන් මත මල් පිපෙන චිත්‍රයක් ද සමඟ..


pic. - 'Safe Haven' 



වැස්සක් කියයි.

Unknown

කුඩ වැස්සක
සොයමි
මුතු මුහුණ


pic. - Claude Theberge, Canadian

රේල් පාරක්

Unknown

අඳුරු අකාසයකට
හැල්මේ ඔහේ දිව යන
රේල් පාරක්
කඳුත් මලුත් නිම්න
මිටියාවත් දියපාරවල් නැති ව ම

pic. - Roelof de Roo, Dutch, Born 1944

~ ~ ~


කියවන්න ඉඩ ලැබී නැති මිස

කියවන්න කැමතියි අපමණ
කුඩා කලිසම් කොටයක් සමඟ
පාවී යන්න මුහුදට

නෝවායි නෝවායි හඬ දෙයි
මුහුදු රළ එම විට



pic. - 'Safe Haven'

සඳ

Paul Klee, Moonshine

ගොඩනැඟිලි හා කුණු ගොඩැලි මතින්
හුස්ම ගනු පිණිස
හිස දික්කරයි සඳ


pic. - Paul Klee, Swiss, 1879 - 1940

අපූරු ම ලියුමක්

Paul Klee, Black Prince

වන්දිභට්ටයෙකු වෙලා ඉන්න කැමතිද අසා
එවා ඇත ඔබ මට අපූරු ම ලියුමක්
ඇතැම් විට සොඳුර මම ප්‍රේමයක තුර යට
මලක් වී පිපෙන්නැති සීතලට හිම මත
ඒත් මේ අසා ඇති කියුම දැක හිත යට
වෙඩි බෙහෙත් පිපෙනවා නුඹ දකින තුරු මට

නුගුණ දැක ගුණ ගයන අකුරු එන්නේ නැති
අකුණු විදි අහස මත සඳ පිපෙන්නේ නැති
අමාවක දේශයක පලා යන්නේ නැති
අතින් දුප්පත් වුව ද හදින් නම් නොම නැති

උරා ගෙන සියල් දිය බිඳින් බිඳ කුණාටුව
ඉරිතලා ගියත් හැම නිමේෂෙක ජීවිතය
අනේ රජ සභා මට කුමටදැයි සකිසඳ
අසන්නේ නැති ව මං මියෙන්නේ කොහොමද???


pic. - Paul Klee, Swiss, 1879 - 1940

සමුද්‍ර වංකයකි එතැන

Guy Carleton Wiggins, Afternoon, Noank, Connecticut

තාරකා ඉබ්බෙකු පිටින් පැන
ඈතට ම ගසා යයි මුහුදු රළ
සමුද්‍ර වංකයකි එතැන
නුඹ ද මා හමුවන



pic. - Guy Carleton Wiggins, American, 1883 - 1962


වැසි පොද ඇවිත්

Guy Carleton Wiggins, Winter in Washington Square

වැසි පොද ඇවිත්
මා උපැස් මත
මවයි මිහිදුම
මඩ මත සැණෙන
පිපෙයි පියුමක්

pic. - Guy Carleton Wiggins, American, 1883 - 1962

Wednesday, May 22, 2013

රතු පැහැති රෝස මල්

Bessie Hoover Wessel, Old Fashioned Roses

වසා ගනී දොරකඩ
රතු පැහැති රෝස මල්
අද එතැයි හෙට එතැයි ඔබ

pic. - Bessie Hoover Wessel, American, 1889 - 1973 

පෙනේ උන්මාද වී උන් බව

Richard Gibson Wedderspoon, Summer Peace

කුරුලු ගීතයකි එය
ඉස්තාලයෙන් නික්මුණ

පෙනේ උන්මාද වී උන් බව
නැවත කියවන විට කතා පොත


pic. - Richard Gibson Wedderspoon, American, 1889 - 1976 


සුළඟ වගේ හිත තවන්න

Félix Vallotton, The Wind

සුළඟ වගේ හිත තවන්න
ග්‍රීෂ්මයක් අරන් එන්න
පැන් තුඩ තුඩ කතර මතට
නමුත් අතරමඟ තබන්න

වසන්තයේ ගී ගයන්න
නැළවෙන තුරු මතින් ඔන්න
හරිත පැහැය බිම දමන්න
වස්සානෙට යන්න එන්න

වලා කෙඳිති මත ගුලි වී
පරණ හීන කෝපි බඳුන
ආලින්දෙට අරන් එන්න
මත් වෙන තුරු පෙම් කරන්න

pic. - Félix Vallotton, Swiss-born French, 1865 - 1925

Tuesday, May 21, 2013

සසඳ මතින් හා පැටියා




සිසි සස අස සසල සිතැති
පොඩි ළමයෙක් හඬන සිඟිති
අම්මා නැති තැන කොහොමද
නිදන්නෙ හා පැටියා  නිති

උපන් දිනකි වැස්සට රිසි
ජනපද දන වැයුම් වයති
හිතක අරෝ විඳිනු නොහැකි
මවු ඉගිලුණි අහසට සකි

උපන් කරුම ගෙනා ළඳා
කරුම උපන් පොඩි බිළිඳා
අතැර ගියෙලු පිය සමිඳා
අනේ අපොයි කොයි වරදා

මේ කිසිවක් නොදත් නමුදු
පා පොඩි නළවා සුදුමුදු
සසඳ මතින් හා පැටියා
වලා මතට පනී කඳූ

pic. - thebabypicz.com

සිඹිමි මම සිඹිමි



සඳ රැස් සෙමින් පිරිමදියි
මියෑදුණු මතක
රන්පාට හේ බා ව යයි
ඈත කොන අහස
වඩදියෙහි කැලඹෙයි
නුඹ අතැරි මතක
සිඹිමි මම සිඹිමි
නුඹ නොවෙයි
නුඹෙ සොහොන


pic. - Edward Lincoln Espey, American, 1860 - 1889

මුද්‍රා නැටුම්

ලන්තෑරුම් තැනින් තැන එල්ලුණු අහසේ
මුද්‍රා නැටුම් නටත්
කලාමැදිරියෝ

pic. - Louis Anquetin, French, 1861 - 1932

නුඹ සිඹිමි

සුදු සිතුවමක මතු වුණ
දුඹුරු පා පැල්ලමකි
අතෙහි ඉඳි කටු ඇනෙන
සුළඟ ඇර
නුඹ සිඹිමි


pic. - Ernest Lawson, Canadian/American, 1873 - 1939

ගැල් සහ මිනිස්සු


මිහිදුම අතර අතරමං වෙන
ගැල් සහ මිනිස්සු


Ernest Lawso, Canadian/American, 1873 - 1939
 

හිරු


නිදා හිඳ පැමිණුණු
මීදුම් අතර අතරමං වෙයි
හිරු

pic. - Ernest Lawso, Canadian/American, 1873 - 1939

එහේ මෙහෙ දිව යන සමනල්ලු


වැහි අරන් අර අදින අහස මත
එහේ මෙහෙ දිව යන සමනල්ලු
අන්න ඈතට ඇදෙන රුවල් නැව්

pic. - Eugène Boudin, French, 1824 - 1896

කිසිවෙකුත් නැත


මට මතක යි
ඔවුන් මිය ගිය හැටි
එක්කෙනා එක්කෙනා
දැන් වෙන අය ඒ ගමේ
මං දන්නෙවත් නැති
මේ පාළු පාර මතකයිද
ඉස්සරට වඩා හරි වෙනස්
අත්තම්මා සමඟ අතෙහි එල්ලී
මා පොඩි පා තැබූ
සීයා සමඟ පොළෙන් එළවලු අරන් ආ
මුලින් අත්තම්මා පිටුපස මා දිව ගිය
පසු ව අත්තම්මා මා පසුපස සෙමින් ආ
අහවරයි ඒ කාලය
කුඩා වියේ ආලයෙන් මා වෙළා ගත්
දැන් කිසිවෙකුත් නැත එහි
අත්තම්මා සීයා ද නොව
මා සමඟ කෙළිදෙළින් වූ
යහළු යෙහෙළියන් පවා
කිසිවෙකුත් නැත
කිසිවෙකුත් නැත
හරිත පැහැ වූ
තුරක් හෝ නැත

pic. - Stanislav Zhukovsky, Russian, 1873 - 1944
 

අවසන් කරන්න දෙන්න මට



සියල්ල ඩැහැගෙන ගිහින්
කාලයේ වැලි සුළඟ..
අවසන් කරන්න දෙන්න මට
අසෝක මලේ ආදරය!



pic. - Ada Shulz. American, 1870 - 1928

ලිලී මල් අතින් ගත් මිටියාවත් ගැහැණු ළමයා..


ගිරි බඳහි
ඇමිණෙන උදෑසන
ප්‍රතාප ව නැඟෙන හිරු
විදා සිය උණුසුම් දෙ අත
සොයයි
මිහිදුමෙහි සැඟ ව සිටින
ලිලී මල් අතින් ගත්
මිටියාවත්
ගැහැණු ළමයා...


pic. - by Jordan Hicks, www.jordanhicks.ca

කිසිවකුත් නොමැති වීථියක


වැස්සට උපන් දවසක
කොනිත්තා සිප ගන්න හදවත
අළු පාට දිවා රැය
වර්ණවත් කරනු මැන
ළබඳ හිරි කඩ ඇවිත්
තිර පට එළයි කවුළුව
කිසිවකුත් නොමැති වීථියක
පණ පොවයි සෙනෙහස

pic. - F.C. Turner, British, active 1810 - 1846 

මල් වුණත් ඇතැම් විට

කඳුකරෙන් ඈත නගරෙක
සොඳුරු පෙම නිදි වරන
අතෙහි ගන ඉඳි කටු ඇනෙන
මල් වුණත් ඇතැම් විට
බර වැඩි ය සොඳුර

pic. - Diego Rivera, Mexican, 1886 - 1957 
 

කැනේඩියානු අගෝස්තුව


 
කැනේඩියානු අගෝස්තුව
ගිල ගනියි නපුරු පූසෙකුගෙ රකුසු දෑස
මුහුද වුණත් ඇතැම් විට
හරි ම සීමිත ය

pic. - R. S. Riddic, American